Slender Coral Snake/දෙපත් කළුවා (Calliophis melanurus-Shaw, 1802)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Indian Coral Snake Pattai Kattu Viriyan

Coluber melanurus SHAW 1802: 552
Vipera trimaculata DAUDIN 1803 (fide SMITH 1943)
Callophis trimaculatus — GÜNTHER 1859: 83 (fide SMITH 1943)
Calliophis trimaculatus BOULENGER 1896
Callophis trimaculatus — WALL 1906: 307
Callophis trimaculatus — D’ABREU 1913
Callophis melanurus — SMITH 1943: 420
Calliophis melanurus — WELCH 1994: 41
Hemibungarus melanurus — SCHLEICH & KÄSTLE 2000: 20
Calliophis melanurus — SLOWINSKI, BOUNDY & LAWSON 2001
Calliophis melanurus — SMITH et al. 2012
Calliophis melanurus — WALLACH et al. 2014: 146




ශ්‍රී ලංකාවේ විෂ සහිත සර්පයන් අතුරින් කුඩාම විශේෂයක් වන්නේ දෙපත් කළුවායි. පෘෂ්ඨීයව තද කළු හිසක් සහ වල්ගය කෙලවර වන්නට කළු පැහැ සලකුණක් හෝ දෙකක් පිහිටීම නිසා දෙපත් කළුවා යන නම ව්‍යවහාරගතවන්නට ඇත. ඉන්දියානු නිදර්ශක යොදාගෙන පැට්‍රික් රසල් ලියන ලද සටහන් මගින් බ්‍රිතාන්‍ය ජාතික සත්වවේදියෙක් වූ ජෝර්ජ් ෂෝ (George Shaw) 1802 දී විද්‍යාත්මකව විස්තර කරන ලදී. 1951 වසරේදී දැරණියගල මහතා විසින් උදරීය වර්ණ හා ශරීර ප්‍රමාණ සංසන්දනය කරමින් ශ්‍රී ලංකාවේ සිටින විශේෂය Calliophis melanurus sinhaleyus නමින් උප විශේෂ කරන ලදී. නමුත් වර්ථමානයේදී මෙය භාවිතා නොකරයි.

පෘෂ්ඨීයව ලා කහ මිශ්‍ර දුඹුරු පැහැයක්ද හිස සිට ගෙල තෙක් පෘෂ්ඨීයව හා අධ්‍යදර කොරළ තෙක් කළු පැහැයක්ද ඇත. ශරීරයේ ඉහළට වන්නට ඇති ශංඛක කොරළ  දෙකෙහි ශරීරයේ දුඹුරු පැහැයට සමාන තිත් දෙකක් දක්නට ඇත. වල්ගය කෙලවර හා ජම්බාලිය අසල පෘෂ්ඨීයව කළු පැහැ සලකුණු දෙකක් ඇත. උදරීයව ලා තැඹිලි හෝ ලා රෝස පැහැයක් ගන්නා අතර ගුද කෝරළයට ආසන්නව මෙම පැහැය තද ස්වභාවයක් ගනී. ගුද කෝරළයෙන් පසුව ඇති පෞච්ඡ උදරීය කොරළ 5ක් පමණ තද වශයෙන්ද  වල්ගය කෙලවර මද වශයෙන්ද කළු පැහැයක් ගනී. මේ අතර ප්‍රදේශය අලංකාර නිල් වර්ණයක් ගනී. ශරීරයේ ඇති කොරළවල පිටුපසට වන්නට කුඩා තිතක් පිහිටයි. ශරීරය සුමට වන අතර හිසට සාපේක්ෂව ඉතා දිගැටිය. හිස ගෙලින් වෙන්වී නොමැති අතර ශරීරය පුරාවටම එකම විශ්කම්භයක් ඇති බව පෙනේ.වැඩුන සතෙකුගේ ශරීරය ජෙල් පෑනක බටයක් තරම්ය.

අර්ධ පාංශුවාසී විශේෂයක් වන දෙපත් කළුවා සවස් කාලයේ හා පාන්දරට වඩා සක්‍රීයව දිවි ගෙවයි. දහවල් කාලයේදී ගල්, කොටන්, බුරුල් ශාක මුල්, කෘමි ගුල් හා වියළි කොළරොඩු ඇතුලත සැඟව සිටී. බුරුල් පස තුලට හාරාගෙන යෑමේ හැකියාවද ඇත. තම ප්‍රධාන ආහාරය ලෙස අනෙක් සර්පයන් ගොදුරු කර ගනී. විශේෂයෙන්ම පාංශුවාසී සර්ප විශේෂ වන කණඋල්ලන්, කෘමි බිත්තර හා ගැඬවිලුන් වැනි අපෘෂ්ඨවන්ශීන් මෙම විශේෂයේ ආහාර ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ මැදරට හා පහතරට තෙත් , වියළි කළාපයේ ව්‍යාප්තව ඇත. කලබල වූ විට වේගයෙන් පලා යාමට උත්සාහ දරයි. එය අසාර්ථක වුවහොත් වල්ග කෙලවර ඉහලට ඔසවා දඟරයක් සේ සකසා දීප්තිමත් වර්ණ විදහාපායි. දෙපත් කළුවන් අණ්ඩජතාව මගින් ප්‍රජනනය සිදු කරයි. වරකට බිත්තර 2ත් 6ත් අතර සංක්‍යාවක් දමන අතර වැඩුන සතෙක්  30cm පමණ වේ. ඉන්දියානු ගහණය මීට වඩා විශාලව වැඩේ. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය තර්ජනයට ලක්වීමට ආසන්න / Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

දෙපත් කළුවන් අයත් වන්නේ ඉලැපිඩේ (බොයී, 1827) කුලයේ පැරණි ලොව කොරල් සර්පයන් (Old World Coral Snakes) එනම් ආසියාතික සම්භවයක් සහිතව පරිණාමය වූ කොරල් සර්පයන් අයත්වන කැලියෝෆිස් /Calliophis (ග්‍රේ, 1834) ගණයටය. අදවනතුරුත් නිසි අද්‍යයනයකට ලක් නොවූ විශේෂ බොහොමයක් නියෝජනය කරන මෙම ගණය වර්ථමානය වන විට විශේෂ 11කින් සමන්විත වේ. Calliophis ගණය ශරීර ප්‍රමාණයෙන් කුඩා අර්ධ-පාංශු වාසී විශේෂ (උදා: C.melanurus, C.maculiceps) මෙන්ම විශාලව වැඩෙන භෞමික විශේෂ (උදා: C.salitan, C.bivirgatus) වලින්ද සමන්විත වේ. මින් දිගු විෂ ග්‍රන්ථි සහිත කොරල් සර්පයන් (Long-glanded Coral Snakes) වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් උග්‍ර විෂ සර්පයන් ලෙස වර්ග කරයි. මෑතකදී සොයාගනු ලැබූ ඉතා ප්‍රබල විෂ ධූලකයක් වන Calliotoxin පරිණාමය වී ඇත්තේද මෙම සර්පයන්ගේය. මෙතරම් ප්‍රබල විෂක් සහිත සර්පයන් සිටින ගණයක් නියෝජනය කලත් අද වනතුරුත් දෙපත් කළු විශේෂ දෙක මගින් කිසිදු මිනිස් මරණයක් වෛද්‍යවාර්තා වල සඳහන් නොවේ.

මේ සඳහා බලපෑ හැකි කරුණු කිහිපයකි. ශරීර ප්‍රමාණයෙන් කුඩා සර්ප විශේෂ බැවින් විෂ ග්‍රන්ථි වල ප්‍රමාණයද ඉතා කුඩා වේ. එබැවින් දෂ්ටනයකදී ඇතුල් වන විෂ ප්‍රමාණයද ඉතා අවමය. ඉතා කුඩා හිසක් හා කුඩා විෂ දළ යුගලක් තිබීම නිසා දෂ්ටනයෙදී යාන්ත්‍රික කාර්යක්‍ෂමතාව ඉතා අවම වේ. රුධිර වාහිණී තුලට කෙලින්ම විෂ ඇතුල් කිරීමට තරම් සාර්ථක දෂ්ටනයක් කිරීමට ඇති සම්භාවිතාවද ඉතා අවමය. අනෙක් කරුණ නම් අප රටේ සිටින්නේ අර්ධ-පාංශු වාසී විශේෂ බැවින් මොවුන්ගේ විෂ පරිණාමය වී තිබිය හැක්කේ පාංශු වාසී ගොදුරු වලට අනුරූපවය. මීට හේතුව වන්නේ සර්පයන්ගේ හෝ වෙනත් විෂ ග්‍රන්ථි සහිත සතෙකුගේ විෂ පරිණාමය වන්නේ තමාගේ ප්‍රධාන ගොදුරු වලට අනුවය. උදාහරණයක් ලෙස Boiga ගණයේ මාපිලුන් රුක්වාසී ගොදුරු මත යැපෙන හෙයින් කුරුල්ලන්ට පමණක් විශේෂයෙන් බලපාන Denmotoxin නැමති ධූලකය[1] පරිණාමිකව හිමිවී තිබීම සැළකිය හැක. කෙසේ නමුත් දැනට වාර්තා වී ඇති C.melanurus විශේෂයේ දෂ්ටන හා ඒවායින් ඇතිවූ රෝග ලක්ෂණ සැලකීමේදී නිගමනය කල හැක්කේ මෙම සර්පයන් සතුව මද ස්නායුක විෂක් ඇතිබවය. 2007 වසරේ ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ සිදුවූ දෙපත් කළු දෂ්ටනයකින්[2] පසු ඇතිවූ රෝග ලක්ෂණ ලෙස දෂ්ටමුඛය කුඩා පිළිස්සුම් ලපයක් (minor burn mark) ලෙස පැවතීම, දෂ්ටකල ස්ථානය හිරි වැටී තිබීම, හා සුළු වශයෙන් ඉදිමීම (mild swelling) සඳහන් කොට ඇත. මීට අමතරව 1990 වසරේදී ආචාර්ය අන්ස්ලැම් දි සිල්වා විසින් පලකරන ලද විද්‍යා පත්‍රයකට[3] අනුව මෙම විශේෂය නිසා සිදුවූ දෂ්ටනයකින් වසා ගැටිති අවට වේදනාව වාර්තා වී ඇත.

මෙම කරුණු සැලකීමට ගැනීමේදී පැහැදිළි වන්නේ මොවුන් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් නොවන සර්ප විශේෂ ලෙසය. කෙසේද යත් සර්පයෙක් වෛද්‍ය විද්‍යාත්මක වැදගත් විශේෂයක් වීමට මිනිස් වාසස්ථාන අවට ව්‍යාප්තිය, විෂේ ප්‍රබලත්වය, වාර්ෂික දෂ්ටන හා මරණ අනුපාතය වැනි කරුණු සලකා බලන කල්හි ලක්වාසී දෙපත් කළුවන් දක්වන්නේ ඉතා අවම හා ශූන්‍ය දත්තයන්ය. ඒ හේතුව නිසාම මොවුන්ගේ විෂ ප්‍රබලත්වය මුල්කොටගෙන පරීක්ෂණ සිදුකිරීමට සම්පත් හා කාලය වෙන් කිරීමට පර්යේෂකයන් මැලි වෙනවා විය හැක. උග්‍ර විෂ සහිත සර්පයන් සිටින කාණ්ඩයක සිටින බැවින් හා විෂ ප්‍රබලත්වය සම්බන්ද නිසි පරීක්ෂණ වාර්තා නොමැති හෙයින් ඇතැම් පොත පත වල මොවුන්ද උග්‍ර විෂ සර්පයන් සේ උපකල්පනය කර වර්ග කර ඇත. මොවුන්ගේ විෂ තත්වය අනුව වර්ගකිරීමේදී ඇතිවන ප්‍රධාන ගැටලුව නම්, රෝග ලක්ෂණ අනුව මධ්‍යස්ථ විෂ(තුරිත විෂ) සර්පයෙක් සේ ඇතැමුන් සැලකීමද, ස්වභාවික දෂ්ටනකදී ශරීරගත විය හැකි විෂ මාත්‍රාව ඉතා අවම වීම නිසා උග්‍ර විෂ සර්පයෙකු වුවත් මරණීය නොවන රෝග ලක්ෂණ ඇතිවීමට ඇති හැකියාවය. මේ නිසා මොවුන් උග්‍ර විෂ හා මධ්‍යස්ත විෂ යන කාණ්ඩ දෙකෙහිම වර්ග කර ඇත.

දෙපත් කළුවා සම්බන්ද විශේෂ කරුණු

1) විශේෂ නාමය ග්‍රීක වචන දෙකක් වන "Melan" (කළු පැහැති යන අරුත) හා "Orus" (වල්ගය යන අරුත) යන්නෙන් සෑදී ඇත.
2) ශ්‍රී ලංකාවේ හමුවන කුඩාම Elapidae කුලයේ සාමාජිකයෙක් වීම

සටහන - සංජය කනිෂ්ක 




* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments