ශ්‍රී ලංකාවේ සර්පයන්

මෙම ලිපිය යාවත්කාලීන වූ දින (2018-05-02) වන විට ශ්‍රී ලංකාව තුලින් විද්‍යාත්මකව විස්තර කරන ලද සර්ප විශේෂ සංඛ්‍යාව 104ක් වේ. මෙම විශේෂ 104න් විශේෂ 15ක් පූර්ණ කරදිය වාසී සර්පයන් (මුහුදු සර්පයන්) වන අතර ඉතිරි විශේෂ 89 ගොඩබිම් හා කඩොලාන/ගංගා මෝය පරිසර පද්ධති ආශ්‍රිතව වාසය කරයි. පූර්ණ කරදිය වාසී සර්පයන් සියල්ලම හා ගොඩබිම් වාසී විශේෂ 5ක් (දෙපත් කළුවන් විශේෂ නොසලකා) උග්‍ර විෂ (Highly Venomous) සහිත සර්පයන්  ලෙස සලකනු ලැබේ. ඉතිරි විශේෂ 84න් විශේෂ 7ක් තුරිත විෂ (Moderately Venomous - දෂ්ටනයකදී ඉක්මනින් සුදුසු ප්‍රතිකර්ම නොකළහොත් අනතුරුදායක තත්වයක් ඇති වීමට ඉඩ ඇති) කාණ්ඩයටත් විශේෂ 12ක් සුළු විෂ (Mildly Venomous) කාණ්ඩයටත් අයත් වේ. ඉතුරු සර්ප විශේෂ 65 නිර්විෂ (Non Venomous) කාණ්ඩයෙහිලා සලකයි. ආවේණිකත්වය සැලකූ විට විශේෂ 104න් 50ක් ආවේණික සර්පයන් ලෙස සලකයි. (Xenochrophis piscator විශේෂයේ මෙරට හා දකුණු ඉන්දියානු ව්‍යාප්තිය අවිනිශ්චිත බැවින් ආවේණික විශේෂ ගණන 51ක් ද විය හැක). වර්ගීකරණ විද්‍යාව සැලකූ විට ලක්වාසී සර්පයන් උපරිකුල(Superfamilies) 6 කටද , කුල(Families) 11කටද , උප කුල(Subfamilies) 9කටද , ඝන(Genera) 37කටද වර්ග කල හැක.

Comments