How to Safely Catch and Relocate a Snake - නිරුපද්‍රිතව සර්පයෙක් අල්ලාගැනීම හා මුදාහැරීම

සර්පයෙක් මිනිස් වාසස්ථානයක් තුලට පැමිණීමට හේතු කිහිපයක් ඇත. ශරීරයේ උෂ්ණත්යව පාලනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් සොයා පැමිණීම, ගොදුරක් පසුපස පැමිණීම හා විරුද්ද ලිංගිකයෙක් පසුපස පැමිණීම වැනි කරුණු මේ සඳහා හේතු වේ. මොවුන් පැමිණෙන්නේ ඔබට හෝ අන් අයෙකුට හානියක් සිදුකිරීමේ අරමුණින් නොවන අතර තම වාසස්ථානයට සර්පයන් පැමිණීම අවම කර ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් නිවසේ ආහාර සහ කුණුරොඩු විදිමත්ව කළමනාකරණය කිරීම වැදගත් වේ. අහාර පාන වර්ග හා කුණු කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් නිවස තුල මීයන් වැනි සතුන් බෝවිය හැක. සර්පයන්ට මෙවැනි ආහාර ප්‍රබවයන් ඇති විට නිවාස තුලට ගොදුරු සොයා පැමිනීම දැකගත හැක. එමනිසා නිසි ලෙස අපද්‍රව්‍ය හා අහාර කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මීට අමතරව නිවසේ දොර ජනෙල් සමීපයේ ඇති අතු රිකිලි කප්පාදු කිරීම හා නිවස අවට පිරිසිදුව තබාගැනීමද සර්පයන්ට සැඟව සිටීමට සුදුසු බිත්ති කුහර වැනි ස්ථාන පිලිසකර කිරීමද සිදු කල යුතුය. යම් හෙයකින් සර්පයෙක් දුටුවහොත් දෙපාර්ශවයේම ජීවිත වලට හානියක් නොවන ලෙස සතාව අල්ලාගෙන සුදුසු පරිසරයකට මුදා හැරීම සිදු කරන අන්දම මෙම ලිපියෙන් පෙන්වා ඇත.

නිවසේ හෝ සේවා ස්ථානයේදී හඳුනාගත නොහැකි සර්පයෙක් දුටු අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග

1) සතා කලබල නොවන සේ සෙමින් ක්‍රියාකරන්න. විශේෂයෙන් පොළව මතුපිට කම්පන ඇති නොවන සේ ක්‍රියා කිරීමට වගබලාගන්න.

2) අවට තිබෙන දොරවල් , බිත්ති කුහර වැනි සර්පයාට සැඟවී සිටීමට හැකි ස්ථාන තාවකාලිකව වසා දැමීම.

3) සර්පයාගේ ශරීර ප්‍රමාණය අනුව සුදුසු උපකරණයක් භාවිතයෙන් සතාව අල්ලාගැනීම හා මුදා හැරීම


සර්පයන් ඇල්ලීමට නිවසේදීම සාදාගත හැකි උපකරණ 

අවශ්‍ය ද්‍රව්‍ය

  1. අඟල් 1.5 හෝ අඟල් 2 pvc නලයක්.
  2. එම නලයේ ප්‍රමාණයටම සරිලන END CAP දෙකක් 
  3. ජල නල මැලියම් 

සාදා ගන්නා ආකාරය

PVC නලය ගෙන එහි තැනින් තැන සිදුරු සාදා ගන්න. එමගින් නලය තුලට වාතය ලබාගත හැක. නලයේ එක් අන්තයක් ජාල නල මැලියම් යොදා වසා ගන්න. අනෙක් අන්තය සර්පයෙකු අල්ලා ගත් විට පමණක් වසා ගැනීම සඳහා ඉතුරු END CAP එක භාවිතා කරන්න එවිට පහත රූපයේ ආකාරයට උපකරණයක් සාදා නිමකර ගත හැක.


සැලකිය යුතුයි : මෙහි සඳහන් නලයේ ප්‍රමාණය හොඳින් වැඩුන විෂ සහිත සර්පයෙක් අල්ලාගැනීම සඳහා සුදුසු වේ. තම ප්‍රදේශයේ වෙසෙන සර්පයන්ගේ ප්‍රමාණය අනුව නලයේ ප්‍රමාණය වෙනස් කල හැක. 

සර්පයෙක් අල්ලා ගැනීම හා නිදහස් කිරීම 

කලබල වූ විට සර්පයෙක් ස්වභාවයෙන්ම උත්සාහකරන්නේ එම ස්ථානයෙන් පලාගොස් ආරක්‍ෂිත ස්ථානයක සැඟවීමටය. ඒ සඳහා අඳුරු ස්ථාන ඔවුන් වඩා ප්‍රිය කරයි. ඉහත සදා නිමකරගත් උපකරණය සාර්ථක වන්නේ නලය තුල ඇති අඳුරු ස්වභාවය සර්පයාට හිතකර වීමයි. සතාගේ හිස සමීපයේ නලයේ විවුර්ත කෙලවර තබා නලය බිම තබන්න. සර්පයා බොහෝවිට එය තුලට යා හැක. එසේ නැතිනම් සර්පයාගේ හිස නලය තුලට සෙමෙන් ඇතුල් කර දිගු ලීයක් වැනි දෙයකින් ශරීරය ස්පර්ශ කරන්න. එවිට නිසැකවම සර්පයා නලය තුලට යනු ඇත. සතා සම්පුර්ණයෙන් රිංගු පසු නලයේ කෙලවර END CAP එකෙන් වසා මුදා හැරීමට සූදානම් වන්න.

සතා අල්ලාගත් ස්ථානයට නුදුරින් ඇති වන ලැහැබකට හෝ සුදුසු පරිසරයකට නිදහස් කිරීම වඩාත් යෝග්‍ය වේ. ඇතැම් සර්පයන් වසම් රකින බැවින් ඔවුන් වෙනත් දුර පළාතකට නිදහස් කිරීම ඔවුන්ගේ පැවැත්මට අහිතකරය. තම ස්වභාවික ආහාර ප්‍රබව වලින් ඈත් වීමද සතාගේ පැවැත්මට අහිතකර ලෙස බලපායි. එබැවින් අල්ලාගත් ස්ථානයට නුදුරින්ම නිදහස් කිරීම සිදුකල යුතුය. මේ සඳහා තාවකාලිකව වසන ලද END CAP එක විවුර්ත කර නලය පොලවට ඇල කර සතා නිදහස් කල හැක.

මෙම උපකරණය මගින් සර්පයෙක් අල්ලාගැනීම හා නිදහස් කිරීම වීඩියෝ මාද්‍ය තුලින් නිරූපනය කර පෙන්වීමට සහය වූ මෙලුෂා ගුණවර්ධන මහත්මියටත්, උරගයන් සම්බන්ද ප්‍රවීනයෙකු වන ප්‍රේමසිරි පීරිස් මහතාටත් ඉසුරු ගුණතිලක මහතාටත් අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙමු. පහත සඳහන් වීඩියෝ නැරඹීම තුලින් වැඩි අවබෝදයක් ලබා ගත හැක.



චායාරූප - මෙලුෂා ගුණවර්ධන
සටහන  - සංජය කණිෂ්ක
වීඩියෝ මෙහෙයවීම -  ප්‍රේමසිරි පීරිස් , ඉසුරු ගුණතිලක