Common Krait/තෙල් කරවැලා (Bungarus caeruleus-Schneider, 1801)

Other Names- වෙනත් නම්
Sinhala Tamil
මගමරුවා, හබරලා/හබරලියා/හබරා Yennai Viriyan, Karuvula Pambu


Pseudoboa caerulea SCHNEIDER 1801: 284
Boa lineata SHAW 1802 (fide SMITH 1943)
Bungarus arcuatus DUMÉRIL & BIBRON 1854: 1272 (fide SMITH 1943)
Bungarus caeruleus — DUMÉRIL & BIBRON 1854: 1273
Bungarus caeruleus — BOULENGER 1890
Bungarus candidus var. caeruleus BOULENGER 1896
Bungarus sindanus BOULENGER 1897 (fide SMITH 1943)
Bungarus candidus — WALL 1907 (fide SMITH 1943)
Bungarus caeruleus SMITH 1943: 413
Bungarus caeruleus — WELCH 1994: 37
Bungarus caeruleus — JANZEN et al. 2007
Bungarus caeruleus — WALLACH et al. 2014: 127



මෙරට වාර්ථාවෙන ගොඩබිම්වාසී සර්පයන් අතුරින් උග්‍රම විෂ සහිත සර්පයා ලෙස තෙල් කරවැලා සඳහන් කල හැක. දකුණු ආසියානු කලාපයේ ප්‍රදේශ රැසකම  සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ බොහොමයකට මෙම සර්පයා හේතු වේ. මින් මරණ බොහොමයක් සිදුවන්නේ රාත්‍රී නින්දේදී සිදුවන දෂ්ටන හේතුවෙන්ය. දිවා කාලයේ සංචරණය සිදු නොකරන නිසාත් රාත්‍රී කාලයේ පැමිණ දෂ්ටන සිදුකර කාටත් නොපෙනීම පලා යන නිසා ඇතැම් ආසියානු සංස්කෘතීන් වල "සර්ප පිසාචයා" ලෙසද හඳුන්වනු ලැබේ. වියළි කලාපයේ ඇතැම් ගම්මුන් මගමරුවා, හබරලියා /හබරා ලෙස හඳුන්වන්නේද  තෙල් කරවැලායි. 

මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර සිරුරක් හා පැහැදිලිව ගෙලෙන් නොවෙන්වූ  කෙටි හොම්බක් සහිත හිසක් හිමි මෙම සර්පයාගේ ශරීරය සුමට කොරල වලින් සමන්විත වේ. මෙම කොරල ඉතා සුමුදු බැවින් දිදුළන ස්වරූපයක් ගනී. සුමට පෘෂ්ඨයක් මත තෙල් ගෑමෙන් ඇතිවන පෙනුමට සමාන පෙනුමක් ඇති නිසා තෙල් කරවැලා යන නම පටබැඳුනු බව අපගේ විශ්වාසයයි. ශරීර වර්ණය ප්‍රධාන වශයෙන් කළු පැහැයක් ගනී. මීට අමතරව ලා දුඹුරු මිශ්‍ර කළු හා නිල් මිශ්‍ර කළු වර්ණය පෙන්වන සතුන්ද සුලබව හමුවේ. මොවුන්ගේ ශරීරයේ හරස් අතට සුදු පැහැ වළලු මෙන් තුනී තීරු යුගල් 20-25 අතර සංඛ්‍යාවක් වෙන්ව පිහිටා ඇත. බොහෝ සතුන්ගේ මෙම හරස් තීරු අතර පරතරය ශරීරයේ පෙර කොටසේදී තරමක් පළල් වන අතර අපර කොටසේදී කෙටි වේ. කේශ කොරල පෙල ශරීරයේ අනෙක් පෘෂ්ඨීය කොරල වලට වඩා විශාල වන අතර ෂඩාශ්‍රාකාර හැඩයක් ගනී. මෙම තීරු යුගල් හා ෂඩාශ්‍රාකාර කේශ කොරල පෙල තෙල් කරවලුන් හඳුනාගැනීම සඳහා භාවිතා කල හැකි සාධක වේ. කුඩා පැටවුන්ගේ ඉහත සඳහන් සුදු තීරු ඉතා දීප්තිමත්ව සම්පුර්ණව පිහිටා තිබුනත් වයසට යෑමත් සමග නැතිවී යයි. ඇතැම් වැඩුන සතුන්ගේ කේශ කොරල වල ක්‍ෂය වී ගිය හරස් තීරු වල සුදු පැහැය ඉතුරු වී ඇති අයුරුද දක්නට ලැබේ. උදරීය පැහැය සුදු වේ. රව්ම් කණීනිකා සහිත හිසට සාපේක්ෂව කුඩා ඇස් පිහිටා ඇත.

ප්‍රධාන වශයෙන් භෞමික නිසාචර සර්පයෙක් වන තෙල් කරවැලා දිවා කාලයේදී පොළව ඇතුලත පිහිටි ගුල්, දිරා යන ලී කොටන් හා ගල් කුහර වැනි අඳුරු සිසිල් ස්ථාන වල කාලය ගත කරයි. රාත්‍රී කාලය එළඹීමත් සමග මෙම සර්පයන් ඉතා ක්‍රියාශීලී ලෙස තම නිසාචර ක්‍රියාකාරකම් සිදු කරයි. තෙල් කරවලුන් ප්‍රධාන වශෙයන් අනෙක් සර්පයන් අහාරයට ගන්නා අතර ස්වාජාතී භාක්ෂනයද වාර්තා වී ඇත. මීට අමතරව මීයන් ගෙම්බන් හා කුඩා උරග විශේෂද  ආහාරයට ගනී. වසම් රකින සර්ප විශේෂයක් වන තෙල් කරවැලුන් ප්‍රජනන සමයත් සමග පිරිමි සතුන් සටන් රංගන සිදු කරන ආකාරය දැකගත හැක. අණ්ඩජතාව මගින් වර්ගයා බෝකරන තෙල් කරවැලුන් වරකට බිත්තර 6-12 අතර සංඛ්‍යාවක් දමයි. උපතේදී පැටවෙක් 20cm තරම් දිගින් යුක්ත වී 170cm තරම් දිගකට වැඩේ. දිවයිනේ පහත රට වියළි කලාපයේ හා ශුෂ්ක කලාපවල බහුලවත් අතරමැද කලාපයේ අවම වශයෙනුත් තෙල් කරවැලුන් ව්‍යාප්ත වී සිටී.

වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයෙක් ලෙස පිළිගත් තෙල් කරවැලාගේ විෂ සංයුතිය ප්‍රධාන වශයෙන් ස්නායුක විෂ වලින් සෑදී ඇත,වේදනාවකින් තොර දෂ්ටනයක් කිරීමේ හැකියාව මෙම සර්පයාට ඇත්තේ තරමක් කෙටි විෂ දල යුගලක් පිහිටීම නිසාය. බොහෝ දෂ්ටන වලට ගොදුරු වන්නේ බිම නිදාසිටින මිනිසුන්ය. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ නිදා සිටින මිනිසුන් අසල උණුසුමක් ඇති හෙයින්, සර්පයන් එම උණුසුම ලබාගැනීම සඳහා තම ශරීරය අසලට පැමිණීම නිසා මෙම දෂ්ටන සිදුවන බවයි. මෙවැනි දෂ්ටනයකදී දුර්වල ප්‍රතිශක්තීකරණයක් ඇති වැඩිමහලු මිනිසුන් හා කුඩා දරුවන් නින්දේම මරණයට පත්වීමට හැකියාවක් ඇත. තෙල් කරවැලාගේ විෂ ස්නායු පද්ධතියේ පූර්ව හා පශ්ච උපාගාම පටල (Pre & Post Synaptic Gaps) හා බැඳී මාංශ පේශි අතර සම්බන්දය බිඳ දමන නිසා ශ්වසනය සිදුකල නොහැකිව රෝගියා මිය යා හැක. එක් දෂ්ටනයකදී විෂ 60mg පමණ පිට කිරීමේ හැකියාවක් මෙම සර්පයාට ඇත. 60kg පමණ බරක් ඇති වැඩුන මිනිසෙක් සඳහා මාරක මාත්‍රාව 5.4mg පමණ වේ ( S. Prasarnpun, J. Walsh, S. S. Awad,J. B. Harris. 2005. Envenoming bites by kraits: the biological basis of treatment-resistant neuromuscular paralysis) . විෂ ශරීරගත කිරීමේ කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා කරවලුන් තම ගොදුර කෙටි වෙලාවක් සපාගෙන සිටින බව උරග විද්‍යාඥයින් සොයා ගෙන ඇත. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා බිය හේතුවෙන් සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

තෙල් කරවැලා  සම්බන්ද විශේෂ කරුණු 

1) ලංකාවේ ගොඩබිම් වාසී සර්පයන්ගෙන් උග්‍රම විෂ සහිත සර්ප විශේෂය.
2) තෙල් කරවැලාගේ දෂ්ට මුඛය පියවී ඇසට නොපෙනෙන තරම් කුඩා වන අතර අනෙක් විෂ සහිත සර්පයන්ගේ දෂ්ටන වලට වඩා වේදනාවෙන් අඩුය.

සටහන - සංජය කණිෂ්ක 

Comments