Spectacled Cobra/නයා (Naja naja-Linnaeus, 1758)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Indian Cobra නාගයා Naga Pambu, Nalla Pambu

Coluber Naja LINNAEUS 1758: 221
Naja brasiliensis LAURENTI 1768
Naja fasciata LAURENTI 1768
Naja lutescens LAURENTI 1768
Naja maculata LAURENTI 1768
Naja non-naja LAURENTI 1768
Coluber caecus GMELIN 1788
Coluber rufus GMELIN 1788
Coluber Naja — SHAW & NODDER 1791: plate 74
Coluber Naja — SHAW & NODDER 1794: plate 181
Naja tripudians MERREM 1820
Naja nigra GRAY 1830
Naja tripudians forma typica BOULENGER 1896
Naja tripudians var. caeca BOULENGER 1896 (part.)
Naja naja — STEJNEGER 1907
Naja naja naja — SMITH 1943
Naja naja gangetica DERANIYAGALA 1945
Naja naja lutescens DERANIYAGALA 1945
Naja naja madrasiensis DERANIYAGALA 1945
Naja naja indusi DERANIYAGALA 1960
Naja naja bombaya DERANIYAGALA 1961
Naja naja karachiensis DERANIYAGALA 1961
Naja naja ceylonicus CHATMAN & DI MARI 1974
Naja naja polyocellata MEHRTENS 1987
Naja ceylonicus Osorio E CASTRO & VERNON 1989
Naja (Naja) naja — WALLACH et al. 2009
Naja naja karachiensis — ZEEB 2012
Naja naja karachiensis — LAITA 2013
Naja naja — WALLACH et al. 2014: 461



නයා නැතහොත් නාගයා යනු සෑම දෙනාම හොඳින් හඳුනන, සර්ප ලෝකයේ සුවිශේෂී ස්ථානයක් හිමිකරගත් සර්ප විශේෂයක් බව සැවොම දන්නා කරුණකි. විටක සියලු සර්ප සංහතියම නිරූපනය කරන සලකුණක් ලෙසද මිනිසා මගින් වැඳුම් පිදුම් ලබන සත්වයෙක් ලෙසද නාගයා මිත්‍යාවන්ගෙන් හා බියෙන් පෝෂණය වූ ගෞරවය වැනි කරුණු හේතුකොටගෙන සංරක්ෂණය වූ සර්පයෙකි. අන් සියලු සර්පයන්ට උරුම නොවූ සුවිශේෂතාවයක් වන පෙනය නාගයන්ගේ තේජාන්විතභාවය විදහාපාන අංගයකි. නාගයා යන නාමය සංස්කෘත භාෂාවේ "නාඝ" යන වචනයෙන් සෑදුනු බව විද්වතුන්ගේ මතයයි. හින්දු සංස්කෘතියේ නාගයා ඉතා ඉහලින් ඇගයූ දේව බල හිමි සත්වයෙක් ලෙස සලකයි. ඉන්දියාවේ අදටත් සිදුකරන "නාග් පන්චාමි" වැනි උත්සව මීට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේද නාගයන් අදහනු ලැබූ නාඝ ගෝත්‍රික පිරිසක් ක්‍රි.පූ 250 කාලයටත් පෙර සිට ඇති අතර බුදු දහමේ ව්‍යාප්තියත් සමග ඔව්න්ගේ ගෝත්‍රයද නැතිවී ගොස් ඇත. සැබෑ නාගයන් ලෙස සැලකෙන Naja ඝණයේ සිටින සර්පයන් අතුරින් වඩාත් ප්‍රචලිත විශේෂය වන්නේ දකුණු ආසියාවේ ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත Naja naja විශේෂයි. ඉන්දියානු උපමහද්වීපය, ශ්‍රී ලංකාව, පාකිස්තානය, නේපාලය, භූතානය, බංගලාදේශය හා මියන්මාර් යන රටවල ව්‍යාප්ත වී සිටින නාගයන් එම කලාපයේ සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ රැසකට හේතු වන වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් උග්‍ර විෂ සර්පයෙක් ලෙස සලකයි.

දිගු පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර ශරීරයක් හිමි නාගයා කළු පැහැයේ සිට දුඹුරු හා  අළු පැහැයට ඇති ස්වභාවික වර්ණ වලින් හමුවේ. සුදු නාගයින්(Leucistic) හා ඇලි නාගයින්(Albino) යනු ජාන විකුර්ති වීම් නිසා සිදුවන සමේ වර්ණකයන්ගේ වෙනස්කම් හේතුවෙන් වර්ණ විපර්යාසයන්ට ලක් වූ සත්වයින්ය. මෙම සුදු නාගයන් සතුව විශේෂ බලයන් ඇති බව ඇතැම් ජන කොටස් විශ්වාස කරත් එහි කිසිදු සත්‍යතාවක් නොමැත. මෙම විශේෂ වර්ණ රටා හැර අන් සියලු ස්වභාවික වර්ණරූපී ආකරවලම ශරීරයේ හරස් අතට කඩ ඉරි වැනි රේඛා දක්නට ලැබේ. මෙම රේඛා විටෙක යුගල් ලෙසද පිහිටයි. ඉලිප්සාකාර කොරල වලින් මධ්‍ය දේහය වැසී ඇත. උදරීය පැහැය බොහෝ විට පෘෂ්ඨීය පැහැය මත රඳා පවතින අතර ක්‍රීම් හා සුදු පැහැයන්ගෙන් සුලභව හමුවේ. ගෙල පෙදෙසේ කලු පැහැ හරස් පටි දෙකක් හෝ තුනක් දක්නට ඇත. හිස පැහැදිලිව ගෙලෙන් වෙන්වී නොමැත. හිසට තරමක් පිටුපසින් පෘෂ්ඨීයව සිංහල අක්ෂර මාලාවේ "ප" අකුරේ හැඩති සලකුණක් දක්නට ඇත. මෙම සලකුණ නොමැති සත්වයන් හා සලකුණ විකෘති වූ සතුන්ද හමුවේ. මෙම සලකුණ භාහු රහිත ඇස් කණ්නාඩියක් ලෙසද පෙනෙන හෙයින් ඉංග්‍රීසි භාෂාවෙන් "Spectacled Cobra" ලෙස හඳුන්වයි. පෙනය කල විට ඉදිරිපසින් කලු පැහැ පුල්ලි දෙකක් පෙනය දෙපසින් පිහිටයි. දිවාචර හා නිසාචර කාලයන් දෙකෙහිම ක්‍රියාකාරී නාගයන් ප්‍රධාන වශයෙන් භෞමිකව සංචරණය කරයි. කුඩා පඳුරු හා මද උස ගස් වල සංචරණය ද දක්නට ලැබේ. බිත්ති කුහර, ලී කොටන්, පස් තුල ඇති ගුල් හා තුඹස් වැනි ස්ථානයන් වල කාලය ගත කිරීමට නාගයින් කැමැත්තක් දක්වයි. විශාල පරාසයක ආහාර රටාවක් පෙන්වන නාගයින් මීයන්, කටුස්සන්, ගෙම්බන්, කුරුල්ලන් (කුරුලු බිත්තර ඇතුළුව) හා ස්වාජාතී භක්ෂණය ඇතුළුව අනෙක් සර්ප විශේෂ ගොදුරු කර ගනී. ගෘහාශ්‍රිත සතුන් වන පූස් පැටවුන් මත යැපෙන අවස්ථාද වාර්තා වේ. ඇතැම් සංස්කෘතීන් වල නාගයන් හට පුද පූජා පැවැත්වීමේදී ආහාරයක් ලෙස කිරි ලබා දේ. "නාග් පන්චාමි" වැනි උත්සව මේ සඳහා උදාහරණ ලෙස ගත හැක. මෙය ඉතා අනුවණ හා වැරදි ක්‍රියාවක් වන්නේ උරගයන් යනු කිරි ජීරණය කිරීමට නොහැකි සත්ව කොට්ටාශයක් වීමයි. ක්‍ෂීරපායීන් මෙන් නොව උරගයන් හට කිරි ලබා දීම ඔවුන්ගේ සෞඛ්‍ය තත්වයට හානි කිරීමක් බඳුය. මෙහිදී උත්සව වලට කලකට පෙර නාගයන් අල්ලාගන්නා පිරිස් ඔවුන්ට පානය සඳහා ජලය ලබා නොදීම හේතුවෙන් ශරීරය විජලනය වීම වලක්වා ගැනීමට උත්සව දිනට කිරි පානය කලද එය සතාට අහිතකරය.

තර්ජනයක් දැනුන විට පලා යෑමට උත්සාහ කරත් එය අසාර්ථක වූ විට ශරීරයේ පෙර කොටස ඉහලට ඔසවා පෙනය කර තදින් පිම්බීමක් සිදු කරයි. මෙය නාගයින්ට අවේණික වූ අනතුරු හැඟවීමේ ක්‍රියාවක් වේ. පෙනය විහිදීමෙන් තම සතුරා/විලෝපිකයා හට තමා විශාල සතෙකු බව හැඟවීම සිදු කරයි. මෙහිදී පෙනයේ පිටුපස හා ඉදිරි පස ඇති රවුම් සලකුණු ව්‍යාජ අක්ෂි ලෙස යොදාගන්නා බව ඇතැම් උරග විද්‍යාඥයන්ගේ මතයයි. මෙය සත්ව විද්‍යාවේ "Eyespot Mimicry" ලෙස හඳුන්වයි. මෙමගින් නාගයාට පිටුපසින් සිටින විලොපිකයෙකුට වුවද නාගයා තමා දෙස බලාසිටින බව සිතේ. මෙම අනතුරු හැඟවීම නොසලකා සිටීමෙන් නාගයින් පහර දීමට පෙළඹේ. මෙම පහරදීම්ද බොහෝ විට තම ගෙල පෙදෙස වේගයෙන් පොලව මත ස්පර්ශ කිරීමක් ලෙස සිදුකරයි. මෙය පිඹීමක් සමග වේගයෙන් සිදු කරන ක්‍රියාවක් හෙයින් මිනිස් ඇසට පහර දීමක්/ සපාකෑමක් ලෙස පෙනේ. වැඩුන නාගයින් ඇතැම් විට විෂ ශරීරගත නොවන ලෙස දෂ්ටන සිදුකරයි. මේ ආකාරයේ දෂ්ට කිරීම් "Dry Bite" ලෙස හඳුන්වන අතර කුඩා පැටවුන් ඉතා කලබලකාරී හෙයින් බොහෝ විට විෂ ශරීරගතවන ලෙස දෂ්ට කිරීම් සිදු කරයි. නාගයන්ගේ විෂ ප්‍රධාන වශයෙන් ස්නායුක ධූල වලින් සෑදී ඇත. නාගයාට ඇත්තේ පශ්ච උපාගාම පටලය (Post-Synaptic) හා බැඳෙන ඇල්ෆා ස්නායුවිෂ (α-Neurotoxins) නම් වූ ස්නායු ධූලක බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මේවා මොළයේ චාලක අන්තඵලකය හා බැඳී එය අඩපන කරයි. මෙහි ප්‍රතිපලයක් ලෙස මාංශපේශි පාලනය කිරීම අපහසු වේ. ඇසිපිය කඩා වැටීම මේ සඳහා උදාහරණ වේ. දෂ්ටනයකදී ප්‍රතිකාර නොකළහොත් හුස්ම ගැනීමට නොහැකිව රෝගියා මියයා හැක. ස්ථානීය රෝග ලක්ෂණ ලෙස දෂ්ටමුඛය අවට වේදනාව, දෂ්ට කල ස්ථානය ඉදිමීම (Local Swelling) හා පටක කුණුවීම (Tissue Necrosis) දැකගත හැක. ශාරීරික රෝග ලක්ෂණ ලෙස වමනය,ඇසිපිය කඩා වැටීම හා හුස්ම ගැනීමට ඇති අපහසුව දැකගත හැක.

මුහුදු මට්ටමේ සිට 1200m පමණ වන තෙක් ඇති සියලු පරිසර පද්ධතිවල හා වගා බිම් ඇතුළු ජල මූලාශ්‍ර අවට පරිසරයන් වල සුලබව දැකගත හැක. නාගයන් අණ්ඩජතාව මගින් ප්‍රජනනය සිදු කරයි. වරකට බිත්තර 5ත් 45ත් අතර සංක්‍යාවක් දමන අතර උපතේදී පැටවෙක් 20cm තරම්ද වැඩුන සතෙක්  200cm පමණ වේ. නාගයා කෙරෙහි ඇති ගෞරවාන්විත බිය හේතුවෙන් හිංසා පීඩා සිදු නොකිරීමට බහුතරයක් මිනිසුන් පෙළඹේ. එහි ප්‍රතිපලයක් ලෙස දිවයින පුරා හොඳ ගහනයක් හා සංරක්ෂණ තත්වයක් පෙන්වයි. කෙසේ නමුත් මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ජීවිත හානි නාගයන්ගේ පැවැත්මට ඇති ප්‍රධාන තර්ජනයන්ය. ඇතැම් ජන කොටස් අද වන විටත් නාගයා තම ජීවනෝපාය සඳහා යොදා ගනී. සංචාරකයන් පිනවීම සඳහා නයි නැටවීමට ස්වභාවික පරිසරයේ සිටින මෙම සතුන් ගෙනැවිත් විෂ දල ඉවත්කොට ඉතා කුඩා ඉඩක් සහිත පෙට්ටි වැනි දේවල් තුල දමා ඉතා කටුක ජීවිතයක් ගෙවීමට සලස්වා ඇති අන්දම සුලබ දසුනක් වේ. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

නාගයා සම්බන්ද විශේෂ කරුණු 

1) දැනට හඳුනාගෙන ඇති නාග විශේෂ වලින් පළමුවෙන්ම විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ නාගයන් තුන් දෙනාගෙන් එක් විශේෂයක් වීම. (අනෙත් විශේෂ දෙක Naja haje - ඊජිප්තු නාගයා හා Naja nivea - කේප් නාගයා)

2) දකුණු ආසියානු කලාපයේ වැඩිම ව්‍යාප්තියක් දක්වන නාග විශේෂය වීම

3) ශ්‍රී ලංකාවේ දිගම විෂ සහිත සර්ප විශේෂය වීම

සටහන - සංජය කණිෂ්ක

Comments