Beddome's Cat Snake/කහ මාපිලා (Boiga beddomei- Wall, 1909)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil

Dipsadomorphus beddomei WALL 1909: 152
Dipsadomorphus beddomei — WALL 1921: 282
Boiga beddomei — DAS 1996: 54
Boiga beddomei — WHITAKER & CAPTAIN 2004
Boiga ranawanei SAMARAWICKRAMA, SAMARAWICKRAMA, WIJESENA & ORLOV 2005
Boiga beddomei — WALLACH et al. 2014: 101



කහ මාපිලා අප රටේ හමුවන මාපිල් විශේෂ 5 අතුරින් වර්ගීකරණයේදී තරමක් ආන්දෝලනයකට ලක් වුන විශේෂයක් බව සඳහන්කරොත් එය නිවැරදිය. නිදි මාපිලාට බොහෝ සෙයින් සමාන බැවින් ඇතැම් විද්‍යාඥයින් මෙම විශේෂය නිදි මාපිලා ලෙසද අතීතයේ සලකා ඇත. කෙසේ නමුත් නිදි මාපිලාට වඩා වැඩි උදරීය කොරළ හා පෞච්ඡ උදරීය කොරළ සංඛ්‍යාවක් ඇති බැවින් වෙනම විශේෂයක් ලෙස විස්තර කොට ඇත. 2005 වර්ෂයේදී විදු ලොවට එක් කරනු ලැබූ රනවනගේ රන් මාපිලාද (Boiga ranawanei) කහ මාපිලාට බොහෝ සෙයින් සමාන වුවත් අද වන විට එම විශේෂය කහ මාපිලාගේ සමරුත් නාමයක් බවට පත් වී ඇත..සිහින් දිගු ශරීරයක් ඇති කහ මාපිලාගේ ශරීර පැහැය කහ, ලා දුඹුරු, රන්වන් කහ, කහ මිශ්‍ර තැඹිලි වැනි වර්ණ පරාසයකින් හමුවේ. ගෙලින් පැහැදිලිව වෙන් වූ හිසක් සහිත වන අතර හිසට සාපේක්ෂව විශාල අක්ෂි පිහිටයි. නිදි මාපිලාගේ මෙන් හිසේ ප්‍රෂ්ඨීයව සලකුණු දක්නට නොමැත. අපර අක්ෂි කොරළ සිට අද්‍යධර කොරළ වෙත දිවෙන කළු පැහැ රේඛාවද නිදි මාපිලාගේ දක්නට ඇති රේඛාවට වඩා සිහින් වැඩිය. උදරීයව ලා කහ පැහැයක් ගනී.

කහ මාපිලා රාත්‍රියට ක්‍රියාශීලී නිශාචර සර්පයෙකි. රුක්වාසී සර්පයෙකු වන බැවින් පරිග්‍රාහක වලිගය හා සිහින් දිගැති සිරුර ගොදුරු අල්ලා ගැනීමේදී හා ගස් වැල් වල සංචරණයේදී උපකාරීවෙයි. වනලැහැබ, ලඳුකැලෑ ආශ්‍රිත නිවෙස්වලට රත්‍රීකාලයේ දි පැමිනෙන්නේ හූනන් වැනි සතුන් ගොදුරු කිරීම පිණිසය.මොවුන්ගේ ප්‍රධාන ආහාර වන්නේ හූනන්,කටුස්සන්,හිකනැලුන් වැනි සතුන්ය. මීට අමතරව පඳුරු මැඩියන්ද ආහාරයට ගනී. අඳුර වැටෙන විට ගොදුරු සොයා යන මොවුන් දහවල ගස් බෙන තුළද,නිවෙස් අශ්‍රිතවනම් වියලි දැව ගොඩවල්,අත්හැරදමා ඇති නිවෙස්වල බිත්ති කුහර,වැස්සට නොතෙමෙන බිත්ති ආශ්‍රිත රෙදි වැල්,හෝ එල්ලා අති කුහර සහිත මල්පෝච්චි තුළ කාලය ගතකරයි.දහවල හිරු එලිය මොවුන්ගේ විශාල අක්ෂි වලට සංවේදී වැඩි නිසා අඳුරු ස්ථාන බොහෝවිට තෝරාගනී. අණ්ඩජතාව මගින් බෝවීම සිදුවෙයි. වරකට බිත්තර 5-10 අතර ප්‍රමාණයක් දමයි. කහ මාපිලා ඉක්මණින් ප්‍රකෝප වන සර්පයෙකු නොවන අතර මොවුන්ගේ දශ්ටන කිසිසේත් මිනිසුන්ට විශාල හානියක් කරවීමට සමත් නොවෙයි. බියවී කලබලයට පත් වූ විට වලිගය කෙලවර වේගයෙන් සෙලවීම,හිස පැතලි කිරීම,ශරීරයේ ඉදිරි කොටස හකුලා මුඛය විවරකොට පහරදීම සුලබ චර්යාරටාවන් වෙයි.මොවුන්ගේ විශ දළ පිහිටන්නේ උඩ හණුවේ කෙලවරට වන්නටය.(සැබැවින්ම කෙලවර පිහිටන දත් යුගලය විශ දල යුගලය වශයෙන් විකරණය වී ඇත). යම්විටෙක මිනිසෙකුට දෂ්ට කළත් විශ ශරීර ගත වීමට මුඛ්ය විවරකොට තදින් දෂ්ඨ කිරීමක් කලයුතු වෙයි.විෂ ශරීර ගත වුවහොත් පැය කීපයක් යන තුරු සපාකෑ ස්ථානයේ සුළු වේදනාවක් පවතින අතර සමහරුන්ට ශරීරයේ සුළු ආසාත්මිකතා පෙන්වයි.මේ සඳහා විශේෂයෙන් ඖෂධ නොකලද පැය කීපයකින් ප්‍රකෘති තත්වයට පත්වෙයි.

පහතරට වියළි කලාපයේ මෙන්ව තෙත් කලාපයේද වෙසෙන කහ මාපිලා වැඩි වශයෙන් වනාන්තර තුල වෙසෙන විශේෂයක් වේ. එම හේතුව නිසාම මිනිස් ඇස ගැටෙන්නේ ඉතා කලාතුරකිනි. කෙසේ නමුත් දැඩිව සිදුවන වන විනාශය මොවුන්ගේ ගහනයට ඇති තර්ජනයක් ලෙස සැලකිය හැක. IUCN 2012 රතු දත්ත වාර්තාවේ Near Threatened (NT) ලෙස වර්ග කර ඇත.

කහ මාපිලා සම්බන්ද වැදගත් කරුණු 

1) බ්‍රිතාන්‍ය ජාතික හමුදා නිලධාරියෙක් හා උරග වේදියෙක් වූ Colonel Richard Henry Beddome මහතාට ගෞරවයක් ලෙස නම් කොට ඇත.

2) Albertus Seba විසින් 1734දී අඳින ලද රූප සටහනක සිතුවම් කොට ඇත්තේ මෙම ව්ශේෂය බව Frank Wall මහතා සඳහන් කොට ඇත.

සටහන - සංජය කණිෂ්ක , ගයාන් ප්‍රසංග


Comments