Checkered Keelback/දියබරියා (Fowlea.cf.piscator- Vogel & David, 2006)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
දිය නයා Tanni Pambu, Neerkkoli

Hydrus Piscator SCHNEIDER 1799: 247
Natrix piscator — MERREM 1820: 122
Coluber bengalensis GRAY 1835
Tropidonotus quincunciatus SCHLEGEL 1837: 307
Col. quincunciatus SCHLEGEL 1837 (fide DUMÉRIL et al. 1854)
Tropidonotus quincunciatus — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 592
Tropidonotus quincunciatus — GÜNTHER 1859: 224
Tropidonotus quincunciatus — ANDERSON 1871: 176
Tropidonotus piscator — BOULENGER 1893: 230
Natrix piscator — STEJNEGER 1907: 288
Tropidonotus piscator — WALL 1908: 317
Nerodia (Tropidonotus) piscator — WALL 1921: 91
Xenochrophis piscator MALNATE & MINTON 1965
Amphiesma flavipunctatum HALLOWELL 1861: 503
Natrix piscator — SMITH 1943
Natrix piscator — TWEEDIE 1954
Xenochrophis piscator — COX et al. 1998: 43
Xenochrophis piscator — CHAN-ARD et al. 1999: 190
Xenochrophis piscator — MURTHY 2010
Xenochrophis piscator — WALLACH et al. 2014: 798





ජලජ පරිසර අවට දැකගත හැකි සුලබ සර්ප විශේෂයක් ලෙස දියබරියන් සැළකිය හැක. ශරීරයේ දාම් ලෑල්ලක ආකාරයේ ("Checkered Pattern") හැඩයෙන් කලු පැහැති පුල්ලි පිහිටන හෙයින් ඉංග්‍රීසි භාෂාවෙන් "Checkered Keelback" ලෙස හඳුන්වයි. ආසියාවේ වැඩිම භූගෝලීය ප්‍රදේශයක ව්‍යාප්තියක් දැක්වූ මෙම විශේෂය නවතම පර්යේෂණයන්ට අනුව දකුණු ආසියාවට පමණක් සීමා වී ඇත. එහදී ඉදිරිපත් වූ කරුණක් නම් ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ වෙසෙන ගහනය හඳුනා නොගත් විශේෂයක් වීමට ඇති ඉහල සම්භාවිතාවයි. කෙසේ නමුත් 2006දී පළවූ මෙම විද්‍යා පත්‍රිකාවෙන් පසු ඒ සම්බන්දව මෙතෙක් පර්යේෂණයක් සිදුවී නැත.

පෘෂ්ඨිමත් මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර දේහය කීලකයක් සහිත රළු කොරල වලින් වැසී ඇත. අපර දෙසට වන්නට කීලකයන්ගේ රළු ස්වභාවය (Keelation) වැඩිවන අන්දමක් දැකගත හැක. පෘෂ්ඨීයව අළු, දුඹුරු මිශ්‍ර කහ, ඔලිව් හා දුඹුරු වර්ණ වලින් බහුලව හමුවේ. ගෙල ප්‍රදේශයේ සිට මාධ්‍ය දේහය වන තෙක් කලු පැහැති හතරැස් ආකාරයේ පුල්ලි දාම් ලෑල්ලක කොටු පිහිටන ආකාරයට පිහිටයි. ශරීරයේ පෙර දෙසට වන්නට ඇති කොරල ඇතැම්විට කහ පැහැති දාරයකින් වට වී ඇත. පාර්ශවිකව රතු පැහැයක් පෙන්වන සතුන්ද වාර්තා වී ඇත. පැහැදිලිව ගෙලින් වෙන්වූ හිස මද වශයෙන් උල් වේ. තරමක් පෘෂ්ඨීයව වන්නට නාස්පුඩු පිහිටයි. දියබරියන් ජලය තුල සිටින අවස්තාවන්හීදී ඔලුවේ ඉදිරි පස පමණක් ජලය මතුපිටට දමා සිටින ආකාරය දැකගත හැක.  මෙලෙස සිටින විට හුස්ම ගැනීම පහසු වන්නට නාස්පුඩු තරමක් පෘෂ්ඨීයව පිහිටා ඇත. ඇසේ සිට අධ්‍යදර කොරල(උඩු තොල් කොරල) දක්වා සිහින් රේඛාවන් දෙකක් පිහිටයි. Xenochrophis ඝනයේ දියබරි බොහොමයකගේ මෙම රේඛා යුගල පිහිටන නිසා ඝන මට්ටමින් හඳුනාගැනීමට ඉවහල් වේ. උදරීය පැහැය සුදු හෝ ලා කහ පැහැයෙන් යුක්ත වේ.


ශ්‍රී ලංකාව පුරා මුහුදු මට්ටමේ සිට 1200m තරම් දක්වා ඇති පරිසර පද්ධතියන්ගේ දැකගත හැක. විශේෂයෙන් ගංගා, කුඹුරු වැනි මිරිදිය ජලජ මුලාශ්‍ර අවටත් ජනාකීර්ණ වූ නාගරික පරිසරයේත් සාර්ථකව අනුවර්තනය වී ව්‍යාප්තව සිටිනු දැකිය හැක. දියබරියන් දිවාචර මෙන්ම නිසාචර හැසිරීමද පෙන්වන සර්ප විශේෂයකි. ඉතා ක්‍රියාශීලීව හා වේගයෙන් සංචරණය කරන මොවුන් දිය තුල හොඳින් කිමිදීමටද හැකියාවක් ඇති සත්ව කොට්ටාෂයකි. කලබල වූ විට හිස පැතලි කොට ශරීරයේ අපර කොටස පුම්බා ව්‍යාජ පෙනයක් ලෙස සකසා අනතුරු හැඟවීම සිදුකරයි. කිහිපවතාවක් සපාකෑම් සිදුකරන අතර අඩියක් පමණ උසට පැන සපා කෑමට තැත් කරයි. දියබරියන් තම ප්‍රධාන ආහාරය ලෙස මත්ස්‍යයින් හා ගෙම්බන් ගොදුරු කර ගනී. කුඩා පැටවුන් ඉස්ගෙඩියන්ද ආහාරයට ගැනීම් ඉන්දියාවෙන් වාර්තා වේ. එකම ස්ථානයක දියබරියන් කිහිප දෙනෙක් ගොදුරු මත යැපීම (Communal Feeding) ඇතැම් විට දැකගත හැක. මෙම ක්‍රියාව දියබරියාද අයත්  Natricinae උප කුලයේ ඇතැම් සර්ප විශේෂද පෙන්වන ලක්ෂණයකි. මීට අමතරව ඉවත දැමූ මාංශ කොටස් හා මියගිය මත්ස්‍ය මළකුණු වැනි දෑ ආහාරයට ගැනීම නිසා කසලශෝදකයෙක් ලෙස සැළකිය හැක. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන දියබරියන් වරකට බිත්තර 8-90ත් අතර සංඛ්‍යාවක් මී ගුල්, පස් කන්ඩි වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 10cm පමන වන අතර වැඩුන සතෙක් 100cm - 150cm තරම් දිගකින් යුක්ත වේ. ඉතා ඉක්මනින් පහර දීමත්. හිස පැතලි කරීමත් වැනි කරුණු නිසා පොළගෙක් යැයි වරදවා මරාදැමීම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති විශාලම තර්ජනයක්ය. මීට අමතරව ජලයට කෘමිනාශක වැනි රසායනික එක් කිරීම හා මාර්ග අනතුරු මෙම සර්පයාගේ පැවැත්මට ඇති තර්ජන වලින් කිහිපයක් වේ. දිවයින පුරා ව්‍යාප්තවී සිටින සර්පයෙක් හෙයින් ඉතා හොඳ සංරක්ෂණ තත්වයක් පෙන්නුම් කරයි. රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ සලකයි.

දියබරියා සම්බන්ද විශේෂ කරුණු 


1) ශ්‍රී ලංකාවේ වෙසෙන මිරිදිය ජලජ පරිසර පද්ධති වාසී සර්පයන්ගෙන් වැඩිම ව්‍යාප්තිය දක්වන සර්ප විශේෂය වීම.
2) කසළශෝධනය(Scavenging)සිදුකරන සර්පයෙක් වීම.
3) ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු සර්පයන්ගෙන් දෙවනුවට වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන සර්ප විශේෂය වීම (8-90)
4) ශ්‍රී ලංකාවේ වෙසෙන සර්පයන්ගෙන් බිත්තර ගොන්නට/ ශරීර ප්‍රමාණය (Egg Clutch/Body Size Ratio) වැඩිම අනුපාතය පෙන්වන සර්ප විශේෂය වීම
5) ස්වභාවික පරිසරයේදී ප්‍රජාවක් ලෙස ආහාර ගන්නා (Communal Feeding) ලෝකයේ සර්ප විශේෂ සුළු ප්‍රාමාණය අතරින් එක් විශේෂයක් වීම. (Natrix natrix අනෙක් විශේෂයන් සඳහා උදාහරණයක්)
6) 2006 වර්ෂයේදී  පලකරන ලද විද්‍යා පත්‍රයකට (Vogel G., David P. (2006) On the taxonomy of the Xenochrophis piscator complex (Serpentes, Natricidae). Herpetologia Bonnensis II, pp. 241-246) අනුව ශ්‍රී ලංකාවේ හා දකුණු ඉන්දියාවේ සිටින Xenochrophis piscator ගහණය නිවැරදිව හඳුනා නොගත් විද්‍යාත්මකව විස්තර නොකරන ලද විශේෂයක් වීමට සම්භාවිතාවක් ඇති බව සඳහන් කර ඇත. කෙසේ නමුත් මේ වන තෙක් ඒ සම්බන්දව වැඩිදුර පර්යේෂණයක් සිදුකර නොමැත.


සටහන - සංජය කණිෂ්ක




Comments