Common Bronzeback/තුරු හාල්දණ්ඩා (Dendrelaphis tristis-Daudin, 1803)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Daudin's Bronzeback Komberi Mookan, Padaiyeri Pambu

Coluber tristis DAUDIN 1803: 430
Dipsas schokari KUHL 1820 (part.)
Leptophis mancas BELL 1825 (fide SMITH 1943)
Dendrophis maniar BOIE 1827 (fide SMITH 1943)
Dendrophis scandens BOIE 1827
Chrysopelea Boieii SMITH 1837: 144
Chrysopelea boiei SMITH 1836 (fide SMITH 1943)
Dendrophis boii CANTOR 1839
Dendrophis pictus — BOULENGER 1890 (part.; fide SMITH 1943)
Dendrophis helena WERNER 1893 (fide SMITH 1943)
Dendrelaphis tristis — BOULENGER 1894: 88
Dendrolaphis tristis — LUARD 1918
Dendrelaphis tristis — WALL 1921: 221
Dendrelaphis tristis — MCDOWELL & JENNER 1988
Dendrelaphis tristis — DAS 1996: 56
Dendrelaphis tristis — ROOIJEN & VOGEL 2008
Dendrelaphis tristis — WALLACH et al. 2014: 221



වියළි කලාපයේ හමුවන හාල්දණ්ඩන් අතුරින් බහුලම ව්‍යාප්තිය දක්වන්නේ තුරු හාල්දණ්ඩන්ය. ඉතා දිගු සිහින් සිලින්ඩරාකාර ශරීරයක් ඇති බැවින් හෙළබසින් "දණ්ඩා" යන නාමය ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. හාල්දණ්ඩන් අයත් Dendrelaphis ඝනයේ බොහොමයක් සර්පයන්ගේ ශරීරයේ අපර කොටස පෘෂ්ඨීයව ලෝකඩ පැහැවන නිසා  ඉංග්‍රීසි භාෂාවෙන් "Bronzeback / Bronzeback Tree Snake" ලෙස හඳුන්වයි. දිගු සිහින් සිරුර සුමට කොරල වලින් වැසී ඇත. කේශ කොරල පෙළ පාර්ශවිකව ඇති කොරල වලට වඩා ප්‍රමාණයෙන් විශාලය.  පැහැදිළිව හිසෙන් වෙන් වී ඇති දිගැටි හිස පැතලි ස්වභාවයක් ගනී. බොහෝ රුකවාසී සර්පයෝන්ගේ මෙන් හාල්දණ්ඩන්ටද හිසට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ ඇස් පිහිටා ඇත. ඇසේ පිටුපසේ සිට හිසේ අපර දෙසට වන්නට කළු පැහැති රේඛාවක් පිහිටයි. අධ්‍යදර (උඩු තොල්) කොරල සුදු හෝ කහ පැහැති වන අතර එම කොරල වල මායිම් සිහින් කළු දාරයකින් සමන්විත වේ. ශරීර වර්ණය පෘෂ්ඨීයව දුඹුරු හෝ තඹ පැහැයක් ගනී. ශරීරයේ ද්වීපාර්ශවිකව දිවෙන කළු/තද දුඹුරු රේඛාව ලා කහ/සුදු  උදරීය කොරල පාර්ශවිකව වෙන් කරයි. ශරීරයේ අපර කොටසේ ගෙල ප්‍රදේශය සිට මදක් අපර දෙසට වන්නට කළු පැහැති ඇල වූ කුඩා රේඛා පිහිටයි.ඇතැම් සතුන්ගේ මධ්‍ය දේහය වන තෙක් ඇති පාර්ශවික කොරල වල යටි මායිමේ නිල් පැහැති සලකුණු තිබීම නිසා ඉතා වර්ණවත් ආකාරයක් ගනී. බොහෝ තුරු හාල්දණ්ඩන්ගේ කේශ කොරල රන් පැහැයක් ගන්නා අතර මධ්‍ය දේහය තෙක් මෙලෙස දිස්වෙයි. හිසේ කුඩ්‍යීය කොරල දෙක මද්‍යස්ථ වන්නට කහ පැහැති පුල්ලි දෙකකි. මෙම සලකුණ තුරු හාල්දණ්ඩා තෙත් කලාපයේ බහුලව සිටින කූල්ගේ හාල්දණ්ඩාගෙන් වෙන්කර හඳුනාගැනීමට උපයෝගී කරගත හැක. උදරීය පැහැය සුදු හෝ ලා කහ පැහැයක් ගනී. මෙම පැහැය පර්ශවිකවද දිස්වෙන නමුත් ඉහත සඳහන් ද්වීපාර්ශවික රේකාව මගින් පෘෂ්ඨීය පැහැයන් වෙන් කරයි.

දිවාචර සංචරනය පෙන්වන තුරු හාල්දණ්ඩන් ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින් සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම සතුන් ඉතා ඝන කැලෑ හා මද වශයෙන් ගස් වල් ඇති ස්ථාන වල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද දැකගත හැක. වියළි කලාපයේ බහුලවද අතරමැදි කලාපයේ සුළු වශයෙන්ද ව්‍යාප්තියක් දක්වයි. කුඩා කුරුල්ලන්, කටුස්සන්  හා හූනන් ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව කුරුළු බිත්තරද ආහාරයට ගනී. විශාල කණිනිකාවක් සහිත ඇස් ගොදුරු සෙවීමේදී හාල්දණ්ඩන්ට උපකාරී වේ. ඉතා තියුණු දෘෂ්ඨිය හේතුවෙන් නිසලව සිටින ගොදුරක් වුවද හඳුනාගැනීමට මෙම සර්පයාට හැකියාව ඇත. ඉතා අවධානයෙන් සිටින සර්පයෙක් වන අතර බිය වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා තමා විශාල සතෙක් ලෙස හඟවයි. මේ අයුරින් අනතුරු ඇඟවීමේදී කොරල ඈත් වන හෙයින් නිල් පැහැති කොරල වඩා පැහැදිළිව දිස්වේ. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන මොවුන් වරකට බිත්තර 6-12ත් අතර සංඛ්‍යාවක් කොළරොඩු හා ගස්බෙන වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 15cm අතර දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 90cm තරම් විශාලව වැඩේ. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

තුරු හාල්දණ්ඩා සම්බන්ද විශේෂ කරුණු 

1) Dendrelaphis ඝනයේ විද්‍යාත්මකව නම් කෙරුණු දෙවන සර්ප විශේෂය වීම (1803 දී Daudin විසින් Coluber tristis ලෙස)

සටහන  - සංජය කණිෂ්ක

Comments