Common Sand Boa/වැලි පිඹුරා (Eryx conicus-Schneider, 1801)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Rough-Tailed Sand Boa කොට පිඹුරා Mannveli Pambu, Mann Pambu

Boa conica SCHNEIDER 1801: 268
Gongylophis conicus — WAGLER 1830 (not verified)
Erix bengalensis — CUVIER 1837: plate 26
Eryx conicus — DUMÉRIL & BIBRON 1844: 470
Eryx conicus var. laevis PETERS 1869: 436
Gongylophis conicus — BOULENGER 1892: 75
Eryx conicus — BOULENGER 1893: 124
Eryx conicus — SMITH 1943: 112
Gongylophis conicus — TOKAR 1995
Eryx conicus — BAUER 1998
Gongylophis conicus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 211
Eryx conicus — KHAN 2002 (pers. comm.)
Eryx conicus — SHARMA 2004
Gongylophis conicus — WHITAKER & CAPTAIN 2004
Eryx conicus — AVADHANI 2005
Eryx conica conica — MURTHY 2010
Eryx conicus — WALLACH et al. 2014: 287



වැලි පිඹුරන් යනු Boidae කුලයට අයත් සර්පයන් කොට්ටාශයක් වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන පිඹුරා Pythonidae කුලයට අයත් වෙනත් විශේෂයක් වේ. ඉංග්‍රීසි භාෂාවෙන් Boidae කුලයේ සර්පයන්ගේ නාමයන් "Boa" ලෙසින් අවසන් වුවද සිංහල භාෂාවේ මේ සඳහා වෙනත් නමක් භාවිතා නොකරයි. එබැවින් මොවුන්ද සාමාන්‍ය ව්‍යවහාරයේ පිඹුරන් ලෙස හැඳින්වුවද සැබෑ පිඹුරන් විශේෂයක් නොවේ. සැබෑ පිඹුරන් වෙන් කර හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණය නම් ඔවුන් අන්ඩජතාව මගින් පැටවුන් බිහිකිරීමයි. නමුත් Boidae කුලයේ සර්පයන් අන්ඩජලාබුජතාව මගින් පැටවුන් බිහිකරයි. මීට අමතරව තාප සංවේදී ජිද්‍ර වල පිහිටීමද වෙනස් වේ. ශ්‍රී ලංකාවෙන් හමුවන වැලි පිඹුරා දකුණු ආසියාවේ බහුලව ව්‍යාප්තියක් දක්වන වැලි පිඹුරන්ගෙන් එක් විශේෂයක් වේ.

පෘෂ්ඨිමත් කෙටි සිලින්ඩරාකාර ශරීරය කීලකයක් සහිත කුඩා කොරල වලින් වැසී ඇත. ශරීර වර්ණය අළු මිශ්‍ර සුදු, කහ මිශ්‍ර දුඹුරු හෝ දුමුරු වැනි තරමක් තද පැහැවන අතර අක්‍රමවත්ව විසිරුණු හෝ එකට යාවුන තද දුඹුරු අල්ලි රටාවක් පෘෂ්ඨීයව දක්නට ඇත. කෙටි වල්ගය ක්‍රමයෙන් මොට වේ. හිස පැහැදිලිව ගෙලින් වෙන්වී නොතිබුනත් හෝම්බුව දෙසට වන්නට මොට වේ. කීලකයන්ගේ රළු ස්වභාවය (Keelation) හිස දෙසට වන්නට හා වල්ගය දෙසට වන්නට තරමක් වැඩි වන ආකාරයක් දක්නට ඇත. ඇහේ පිටුපස සිට බෙල්ල දෙසට වන්නට අල්ලි රටාවේ වර්ණයෙන්ම යුක්ත රේඛාවක් ද්වීපාර්ශවිකව පිහිටයි. උදරීය පැහැය ලා රෝස, ක්‍රීම් වැනි ලා පැහැයක් ගන්නා අතර කුඩා දුඹුරු පුල්ලි උදරීය කොරල දෙපසින් ඇතැම්විට පිහිටයි.

නිසාචර භෞමික සර්පයෙක් වන වැලි පිඹුරා දිවයිනේ වෙරළාසන්න ශුෂ්ක පරිසර පද්ධති වල ව්‍යාප්තව ඇත. වැලි සහිත ස්ථානයන්හි ශරීරය සඟවා හිස පමණක් පිටතට දමාගෙන සිටීම Eryx ඝනයේ සර්පයන්ගේ පොදු හැසිරීම් රටාවකි. වැලි තුල මෙලෙස සංචරණය කිරීම නිසා වැලි පිඹුරා යන නම ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. දිවා කල වැලි කඳු , කොළරොඩු තුල කාලය ගත කරන මොවුන් රාත්‍රියේදී ගොදුරු සොයා පිටතට පැමිණේ. ආහාර ලෙස ප්‍රධාන වශයෙන් මීයන් හා කටුස්සන් වැනි උරග විශේෂද , කුරුල්ලන් හා ගෙම්බන්ද ගොදුරු කර ගනී. සත්‍ය පිඹුරන් මෙන් වැලි පිඹුරාද ගොදුරු වෙලා අඩපනකොට ගිල දමයි. තර්ජනයක් දැනුන විගස එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කරත් කොටු වූ විට සපා කෑමට උත්සාහ කරයි. සෙමින් සංචරණය සිදු කරන සර්පයෙක් ලෙස පෙනුනද සපාකෑමේදී ඉතා වේගයෙන් පහර දේ. අණ්ඩජලාබුජතාව මගින් ප්‍රජනනය සිදුකරන වැලි පිඹුරන් වරකට පැටවුන්  3-8ත් අතර සංඛ්‍යාවක් බිහිකරයි. උපතේදී පැටවුන් දිගින් 10cm  පමණ වන අතර වැඩුන සතුන් ශරීර ප්‍රමාණයෙන් ලිංගික ද්වීරූපිතාව පෙන්වයි. වැඩුන පිරිමි සතෙක් 40cm පමණ වන අතර වැඩුන ගැහැණු සතෙක් 90cm පමන වේ. සීමා වූ භූගෝලීය ව්‍යාප්තිය නිසාත් පොළොන් කුලයේ සාමාජිකයෙක් යැයි සිතා සිදුකරන මරණ නිසාත් වරකට බිහි කරන පැටවුන් ප්‍රමාණය අඩු වීමත් එයින් වැඩුණු සතෙක් බවට පත්වන ප්‍රතිශතය අවම නිසාත් වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින සර්පයෙක් ලෙස IUCN රතු දත්ත වාර්තාවේ Vulnerable (VU) කාණ්ඩය යටතේ වර්ගීකරනය කර ඇත.

වැලි පිඹුරා සම්බන්ද විශේෂ කරුණු

1) ශරීර ප්‍රමාණයෙන් ලිංගික-ද්වීරූපිතාව පෙන්වන සර්ප විශේෂයක් වීම.

2) පූර්වෝර්ධීහනුක (Pre-maxillary) දත් නොපිහිටීම


සටහන - සංජය කණිෂ්ක



Comments