Lowland Hump-Nosed Pit Viper/පහතරට මූකලන් තෙලිස්සා (Hypnale zara-Gray, 1849)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Strip-Necked Hump Nosed Pit Viper වෛරම් ගෙලැති කුණකටුවා

Trigonocephalus zara GRAY 1849
Hypnale zara — MADUWAGE et al. 2009
Hypnale zara — WALLACH et al. 2014: 343



ශ්‍රී ලංකාවට ආවේණික මධ්‍යස්ථ විෂ සර්පයකු වන පහතරට මූකලන් තෙලිස්සා තෙත් කළාපීය හා අතරමැදි කළාපීය වනාන්තර,වගාබිම් මෙන්ම ඉඳහිට ගෙවතු ආශ්‍රිතවද හමුවන තරමක් සුලබ සර්පයෙකි. වල පොළඟුන්ට විශේෂවන තාප සංවේදී ලෝරියල් සිදුර විශේෂයෙන් රාත්‍රීකාලයෙදි තම ගොදුරු අල්වාගැනීමට අවශ්ය සංවේදන ලබාදෙන අතර,ගොදුරු වශයෙන් සිකනැලුන්,පඳුරු මැඩියන්,හූනන් සහ මී පැටවුන් ප්‍රධාන වෙයි.රාත්‍රීකාලයේදී ක්‍රියාශීලී ලෙස හැසිරෙන මොවුන් දිවාකාලයේදී දිරාපත්වන කොළරොඩු,ලී කොටන්,ගල් පැලුම්,වනාන්තරයේ කුඩා ගස් හෝ පඳුරු මත ගතකරන අතර දහවල් කාලයේත් ඉඳහිට සංචාරය කරනු දක්නට ලැබෙයි.වැඩිවශයෙන් වනාන්තර ආශ්‍රිතව ජීවත්වන නිසා මොහුගෙන් දෂ්ඨන සිදුවන්නේ කළාතුරකිනි.


වනාන්තරය් ඇවිදින්නන් හා තේවතු වැනි වගා භූමි ආශ්‍රිතව වැඩපල කරන්නන් මොහුගේ දෂ්ඨනයට ලක් වු අවස්ථාවන් හමුවී ඇත.දැකීම් මාත්‍රයෙන් පොළොන් තෙලිස්සා/කුණකවාට සමාන වුවත් ගෙලෙහි දෙපස පිහිටන පුල්ලි හෙවත් වයිරම් රටාව නිසා පැහැදිළිව හඳුනාගත හැක.ත්‍රිකෝණාකාර බෝ පත්‍රයක හැඩැති හිස කෙළවර කොරපොතු වලින් සැදුම්ලත් 'තුංඩිය'හෙවත් තුංඩීය කොරළය ඉස්සී පැහැදිළිව පිහිටයි.මොවුනට "තොල+ඉස්සා" "තෙලිස්සා" යන නම ලැබෙන්නේ ඒනිසාය.අන් තෙලිස්සන් විශේෂ තුනට වඩා මොහුගේ තුංඩිය කොරළය ඉස්සී පැවතීමද විශේෂය.

පැහැදිලි ගෙලක්,කෙටි වලිගයක් හා පෘෂ්ටිමත් සිරුරක් පිහිටයි.මොවුන් වර්ණ හා වර්ණ රටාවන් අතින් අතිශය විවිධත්වයක් පෙන්වයි.වැඩිවශයෙන් කළු,අළු පැහැ වර්ණයෙන් යුතු සර්පයන් හමුවන අතර රතුදුඹුරු හෝ ක්‍රීම් පැහැයට හුරු මෙවැනි සර්පයන් ද ඉඳහිට හමුවෙයි.අනතුරක් හමුවේ ඉක්මනින් දිවගොස් සැඟවීමට තැත්කරන අතර බාධාකිරීම් හමුවේ පහර දීමට පසුබටනොවෙයි.බියවූවිට ඉදිරියට පැනීම සහ ශරීරය පැතලි කොට පහරදීම දක්නට ලැබෙයි.සපා කෑමකදී තුවාලය අවට ඉදිමීම දැඩි වේදනාව දින කිහිපයක් පැවතිය හැකි අතර අතර ඊට නිසි ප්‍රතිකාර කළයුතුය.ලෝක සෞක්‍ය සංවිධානය විසින් දෙවන ඛාණ්ඩයේ වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයෙක් ලෙස නම්කොට ඇත. මෙම සර්පයාගේ  දෂ්ඨනයෙන් එක් මරණයක්  සිදුවූබවට වෛද්‍ය වාර්තාවල සඳහන් වේ (Maduwage, 2011) .පැටවුන් බිහිකිරීම මගින් බෝවීම සිදුවන අතර ගැහැණු සතුන් වරට පැටවුන් 3-12ක් අතර සංඛ්යාවක් බිහිකරනු ලබයි.පරිසරයේ සමතුලිත තාවය රැක දෙන මෙවන් වටිනා අලංකාර සර්පයින් ජීවත්වන වනාන්තර පද්ධති රෑකගැනීම මිනිසුන්වන අප සැමගේ වගකීමකි.

සටහන - ගයාන් ප්‍රසංග.



Comments