Sri Lankan Flying Snake/දඟරදණ්ඩා (Chrysopelea taprobanica-Smith, 1943)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Striped Flying Snake

Chrysopelea taprobanica SMITH 1943: 254
Chrysopelea taprobanica — DAS 1996: 55
Chrysopelea taprobanica — JANZEN et al. 2007
Chrysopelea taprobanica — WALLACH et al. 2014: 169



Chrysopelea යනු ආසියාවේ සිටින වර්ණවත්ම හා සුවිශේෂ සර්පයන් සිටින රුක්වාසී ඝනයකි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සර්පයන් දෙදෙනෙක් සිටින අතර දඟරදණ්ඩා අපට බොහෝ කලක් ආවේණික විශේෂයක් වී අප රටේ උරග ආවේනිකත්වය වැඩිකළ සර්පයෙක් සේ සැලකිය හැක. 2015 වසරේ පළවූ විද්‍යා පත්‍රයකින් ඉන්දියානු උප මහාද්වීපය තුල දඟරදණ්ඩා ගේ ව්‍යාප්තිය විද්‍යාත්මකව තහවුරු කරන අතර එතැන් පටන් අපට ආවේණික නොවන විශේෂයක් සේ සලකයි. මෙම පලකිරීමට ප්‍රතමවද ඇතැම් පළකිරීම් වල මෙම සර්පයා ඉන්දියාවෙන් වාර්තා වී ඇති බව ප්‍රකාශ වී තිබුනත් යම් හේතුවක් නිසා එම වාර්තා සත්ව විද්‍යාඥයන්ට මගහැරී තිබේ.1943දී බ්‍රිතාන්‍ය ජාතික උරග හා උභයජීවී විද්‍යාඥයෙකු වූ  Malcolm Arthur Smith මහතා දඟරදණ්ඩා ලංකාවට ආවේණික සර්ප විශේෂයක් ලෙස පළමුව විද්‍යාත්මකව විස්තර කිරීමෙන් අවරුදු 6ක් යෑමෙන් පසු John D Constable මහතා නිදර්ශක සහිතව මෙම සර්පයාගේ ඉන්දියානු උපමහද්වීපයේ ව්‍යාප්තිය පෙන්වා ඇත. නමුත් 2015 වන තුරු එම වාර්තා මගහැරී ඇති හේතුවෙන් ලංකාවට ආවේණික සර්පයෙක් සේ සැලකුවේය.

දිගු සිහින් සිරුරක් සහිත මෙම සර්පයන්ගේ දේහය සුමට කොරල වලින් වැසී පවතී. රුක්වාසී සර්පයෙක් නිසා ගස් වල අතු පතර සංචරණය පහසුවීමට සිරුර පාර්ශවිකව පැතලි ස්වභාවයක් ගන්නා අතර දිගු පරිග්‍රාහක වල්ගය අතු වල එල්ලී සිටීමට උපයෝගී කරගනී. පැහැදිලිව ගෙලින් වෙන්වූ හිස හෝම්බුව දෙසට වන්නට පැතලි ස්වභාවයක් ගනී. ශරීරයේ පෘෂ්ඨීය වර්ණය  දුඹුරු හෝ දුඹුරු මිශ්‍ර තැඹිලි පැහැයක් ගන්නා අතර ඔලිව් මිශ්‍ර දුඹුරු සතුන්ද හමුවේ. ගෙල ප්‍රදේශයේ සිට නැට්ට දක්වා සමදුරින් සුදු හෝ කහ පැහැති දාරයකින් වටවූ කළු පැහැති හරස් පටි 60ක් පමණ පිහිටා ඇත. මෙම හරස් පටි විටෙක zigzag ආකාරයෙන්ද පිහිටයි. හිසේ පෘෂ්ඨීයව කළු හා තැඹිලි හෝ ශරීරයේ පැහැයට සමාන වර්ණයන්ගෙන් යුත් තීරු පිහිටා ඇත. මෙම කළු තීරු තුල තැඹිලි පැහැ කුඩා පුල්ලි දක්නට ලැබේ. හිසේ ඇස් මට්ටමට වන්නට පමණක් කළු පැහැති වන අතර අධ්‍යදර(උදුතොල්) කොරල සුදු පැහැති වේ. උදරීය පැහැය ලා කහ පැහැතිය.

දිවාචර සංචරනය පෙන්වන දඟරදණ්ඩන් ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින් සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම සතුන් ඉතා ඝන කැලෑ හා මද වශයෙන් ගස් වල් ඇති ස්ථාන වල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද ඇතැම් අවස්ථාවල ගොදුරු සොයා මිනිස් වාසස්ථාන තුලටද පැමිණෙනු දැකගත හැක. පහත රට වියළි කලාපයේ හා අතරමැදි කලාපයේ ව්‍යාප්තියක් දක්වයි. Chrysopelea ඝනයේ අනෙක් සර්පයන්ට මෙන්ම ඉහල ස්ථානයක සිට පහළ ස්ථානයක් කරා වාතයේ පාවී (Gliding) ගමන් කිරීමේ හැකියාවක් මෙම සර්පයා සතු වේ. මේ සඳහා තම ඉලඇට විහිදුවා ශරීරය පැතලි කොට උදරීය වර්ගඵලය වැඩි කරගනී. විලෝපිකයෙක් හමුවේ එක් ගසක සිට තවත් ගසකට පලායෑම සඳහා මෙම චර්යා රටාව බෙහෙවින් උපකාරී වේ. ඉංග්‍රීසි බසින් Chrysopelea ඝනයේ සර්පයන් "Flying Snake" ලෙස හඳුන්වන්නේද මෙම හැසිරීම නිසාය. කුඩා කුරුල්ලන්, කටුස්සන් හා හූනන් ආහාර ලෙස ගැනීමට දඟරදණ්ඩන් වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව ගෙම්බන්/මැඩියන් හා කුරුළු බිත්තරද ආහාරයට ගනී. අණ්ඩජතාව මගින් ප්‍රජනනය සිදුකරන මෙම සර්පයන් වරකට බිත්තර 5-10ත් අතර සංඛ්‍යාවක් දමයි. උපතේදී පැටවුන් දිගින් 15cm පමණ වන අතර වැඩුන සතුන් 90cm පමණ දිගකින් යුක්ත වේ. කලබලකාරී සර්පයෙක් නොවුනත් තර්ජනයකදී ශරීරයේ පෙර කොටස දඟරයක් සේ සකසා සපා කෑමට තැත් කරයි. Opisthoglyph ආකාරයේ විෂ දල පිහිටයි. මුඛයේ උඩු ඇන්දේ මදක් පිටුපසට වන්නට විෂ දල පිහිටීම හේතුවෙන් යාන්ත්‍රික කාර්යක්ෂමතාවින් වැඩි දෂ්ටනයක් සිදු කිරීම අපහසුය. මෙතක් වාර්තාවී ඇති දෂ්ටන වලින් බරපතල රෝග ලක්ෂණ නොපෙන්වා ඇති බැවින් සුළු විෂ සර්පයෙක් සේ සලකයි. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

දඟරදණ්ඩා සම්බන්ද විශේෂ කරුණු

1) Chrysopelea ඝනයේ අවසානයට විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ විශේෂය වීම. (1943 දී)

2) ඉහල ස්ථානයක සිට පහල ස්ථානයකට වාතයේ පාවී කෙටි දුරක් ගමන් කිරීමට හැකි වීම

සටහන - සංජය කණිෂ්ක

Comments