Sri Lankan Wolf Snake/දාර රදනකයා (Lycodon carinatus-Kuhl,1820)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Ceylon Wolf Snake දාර කරවලා

Hurria carinata KUHL 1820: 95
Cercaspis carinatus — WAGLER 1830: 191
Cercaspis carinatus — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 390
Cercaspis carinatus — GÜNTHER 1864: 324
Lycodon carinatus — BOULENGER 1890
Lycodon carinatus — BOULENGER 1893: 358
Cercaspis carinatus — WALL 1921: 162
Cercaspis carinatus — SMITH 1943: 268
Cercaspis carinata — DAS 1996: 55
Cercaspis carinatus — JANZEN et al. 2007
Lycodon carinatus — PYRON et al. 2013
Lycodon carinatus — WALLACH et al. 2014: 392



ශ්‍රී ලංකාවට ආවේනික රදනක විශේෂ දෙක අතුරින් එක් විශේෂයක් වන්නේ දාර රදනකයායි. දාර කරවලා නමින්ද ඇතැම් ප්‍රදේශ වල මෙම සර්පයා හඳුන්වනු ලබන නමුත් විෂ සහිත සර්පයන්ගේ නම් භාවිතා කිරීම මෙම සර්ප විශේෂයට අහිතකර බලපෑම් ඇති කල හැකි බැවින් එම නම භාවිතය අප පෞද්ගලිකව අනුමත නොකරයි. ශ්‍රී ලංකාවේ හමුවන උග්‍ර විෂ සහිත කරවලුන්ට රූපවිද්‍යාත්මකව වැඩිම සමානකම් දක්වන්නේ දාර රදනකයායි. ඒ හේතුව නිසාම අනිසි බිය හා වැරදි අවබෝධය හේතුවෙන් නිකරුනේ ජීවිතෙන් වන්දි ගෙවීමට මෙම සර්පයාට සිදු වී ඇත. දිවයිනේ ව්‍යාප්ත වී සිටින අනෙකුත් රදනක විශේෂ සුමට කොරල වලින් සමන්විත දේහ වලට හිමිකම් කියනු ලැබුවත් දාර රදනකයාග් ශරීරය කීලකයක්(දාරයක්) සහිත රළු කොරල වලින් වැසී පවතී. මේ හේතුව නිසා දාර රදනකයා යන නම ලැබී ඇති බව අපගේ විශ්වාසයයි.

ප්‍රෂ්ඨීයව කලු පැහැති දිගු දේහයේ සුදු පැහැති හරස් පටි 13-20 පමණ සංක්‍යාවක් දැක ගත හැක. කුඩා පැටවුන්ගේ මෙම හරස් පටි පැහැදිලිව පෙනෙන අතර වැඩීමත් සමග ඝනකමින් අඩුවී නොපෙනී යයි. උදරීයව කලු පැහැ වන අතර ප්‍රෂ්ඨීයව ඇති සුදු පටි උදරීය කොටසටද පැතිරී වඩා පළල්ව පිහිටයි. උග්‍ර විෂ මුදු කරවලාට බොහෝ සෙයින් සමාන වේ. නමුත් ඉතා පරීක්ශාකාරී ලෙස බැලුවහොත් නොදිලිසෙන රළු කොරල හා පෙයාස් ගෙඩියක හැඩති ඔලුවෙන් මෙම සර්පයා මුදු කරවලාගෙන් වෙන් කොට හඳුනාගත හැක. රදනකයන් කරවලුන්ගෙන් වෙන් කර හඳුනාගත හැකි ලක්ෂණ වැඩිදුර දැනගැනීම සඳහා Snake Identification - සර්පයන් හඳුනාගැනීම ලිපිය කියවන්න. මධ්‍යම කඳුකරයේ හා පහත රට තෙත් කලාපයේ ව්‍යාප්ත වී සිටින සර්ප විශේෂයක් වේ. තෙතමනය සහිත ස්ථාන හා ජලජ මූලාශ්‍ර අවට වාසයට වඩා ප්‍රියකරයි. නිසාචර භෞමික සර්ප විශේෂයක් වේ. ගොම්මන් කාලයේදී හා රාත්‍රී කාලයේදී ගොදුරු සොයා මිනිස් වාසස්ථාන තුලට ඇතුල් විය හැක.

ප්‍රජනනයේදී අන්ඩජතාව පෙන්වන දාර රදනකයන් වරකට බිත්තර 4-7ත් අතර සංඛ්‍යාවක් දමයි. අලුත උපන් පැටවුන් දිගින් 20cm ක් තරම් වන අතර වැඩුනු සතෙක් 50-60cm තරම් දිගකින් යුක්ත වේ. තමාට තර්ජනයක් දැනුන විගස පලායාමට නොහැකි වුවහොත් දඟරයක් ගැසී තම හිස එය තුල සඟවා ගනී (පහත චායාරූප බලන්න). බොහෝ විට සපා කෑමට පෙලබෙන්නේ නැත. මොවුන් ප්‍රධාන ආහාර ලෙස ගෙම්බන් හා අනෙකුත් කුඩා උරග විශේෂ ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වයි. මීට අමතරව කුඩා නිර්විෂ සර්ප විශේෂ මත යැපෙන අවස්ථාද වාර්තා වී ඇත. දාර රදනකයන්ගේ ප්‍රදාන විලෝපිකයන් අතර අවාසනාවන්ත ලෙස මිනිසා විශේෂ ස්ථානයක් ගනී. කරවලුන්ගේ පෙනුමට බොහෝ සෙයින් සමාන නිසා නිකරුනේ මරාදැමීම මොවුන්ගේ පැවැත්මට ඇති ප්‍රබල තර්ජනයකි. රතු දත්ත වාර්තාවට අනුව වඳවීයාමේ තර්ජනයට Endangered (EN) මුහුණපා සිටින සතෙකු බැවින් සංරක්ෂණය කිරීම ඉතා වැදගත් වේ.


Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 17-19
Ventral/උදරීය : 180-202
Sub-caudal/පෞච්ඡ උදරීය : 42-64 බෙදී නැත/Undivided
Anal Plate/ගුද කෝරලය : බෙදී නැත/Undivided
Supralabial/උඩුතොල් : 8-9 (3,5 ඇස ස්පර්ශ කරයි)
Loreal/ලෝරියල් කොරල : 1



දාර රදනකයා සම්බන්ද විශේෂ කරුණු 

1) 2013 වර්ෂයේදී ජාන ප්‍රවේණිය සම්බන්දව සිදුකරන ලද පර්යේෂණයකට අනුව ආවේනික ඝනයක් වූ Cercaspis සිට අනෙක් රදනකයන් අයත්වන Lycodon ඝනයට එක් කොට වර්ගකර ඇත.

2) කීලකයක් ඇති රළු කොරල සහිත එකම රදනක විශේෂය වීම.

3) පුරාණ සම්භවයක් හිමි සර්පයෙක් වීම.

සටහන - සංජය කණිෂ්ක





* Jayaneththi, Hareschandra & Anand Velauthem, Vijaya. (2016). Sri Lankan Wolf Snake, Lycodon carinatus (Kuhl, 1820), predates upon Reed-like Kukri Snake, Oligodon calamarius (Linnaeus, 1754), in the Sinharaja Rainforest, Sri Lanka. Sauria. 38. 60-62.
* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Press.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.

Comments