Olive Keelback/දියවර්ණයා (Atretium schistosum-Daudin, 1803)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Split Keelback කඩොලා, කඩොල් බරියා


Coluber schistosus DAUDIN 1803: 132
Tropidonotus moestus CANTOR 1839: 54 (fide SMITH 1943)
Tropidonotus surgens CANTOR 1839 (fide SMITH 1943)
Tropidonotus schistosus — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 596
Atretium schistosum — GÜNTHER 1864
Helicops schistosus — BOULENGER 1890
Helicops schistosus — BOULENGER 1893: 274
Atretium schistosum — GÜNTHER 1898: 31
Helicops schistosus — WALL 1921: 135
Atretium schistosum — SMITH 1943: 319
Atretium schistosum — DAS 1996: 54
Atretium schistosum — MATTISON 2007: 231
Atretium schistosum — WALLACH et al. 2014: 84




හැඳින්වීම : Natricinae උපකුලයේ ඒකදර්ශී ගණයක් නියෝජනය කරන මෙම සර්ප විශේෂය ඉන්දියාව , නේපාලය , බංගලාදේශය හා ශ්‍රී ලංකාව යන රටවල ව්‍යාප්තව සිටී. Anderson විසින් 1879 දී චීනයේ යුනන් ප්‍රදේශයෙන් සොයාගත් Atretium schistosum var.yunnanensis ප්‍රභේදය පසුව උප විශේෂ මට්ටමින් හා විශේෂ මට්ටමින් හඳුනාගැනුනද 2021 දී එළිදැක්වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව එම ගහණය දියබරියන් අයත් Fowlea ගණය තුල ජානමය වශයෙන් වර්ග වීම නිසා Atretium schistosum විශේෂය පමණක් ඉතිරි වීම හේතුවෙන් Atretium ගණය ඒකදර්ශී විය. ප්‍රංශ ජාතික සත්ව වේදියෙකු වූ ඩවුඩින් විසින් 1803 දී පැට්‍රික් රසල් ගේ සිතුවම් යොදාගනිමින් Coluber schistosus ලෙසින් පළමුව ව්ද්යාත්මකව නම් කරන ලදී   

භාහිර පෙනුම : මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් සහිතය. 50cm තරම් වර්ධනය වේ. අලුත උපන් පැටවුන් 10cm තරම් දිගකින් යුක්ත වේ. ශරීරයේ පෘෂ්ඨිය ප්‍රදේශයට වන්නට නෞතල වඩාත් ප්‍රමුඛ වේ. ශරීර පැහැය පැටවුන්ගේ දීප්තිමත්වන අතර වැඩුන සතුන්ගේ වියැකී ගිය සලකුණු සමග ලා වර්ණයක් ගනී. ශරීරයේ ප්‍රධාන පැහැය ඔලිව් හෝ ඔලිව්-දුඹුරු වන අතර උදරීය කොරල හා හරස් දේහ කොරල පේළි දෙකක් පමණ වන්නට කහ, රෝස හෝ තැඹිලි වර්ණයක් ගත හැක. මෙම උදරීය පැහැය බොහෝ විට ශරීරයේ පෘෂ්ඨීය පැහැයෙන් වෙන් වන ස්ථානයේ කළු පැහැ රේඛාවක් ඇසෙහි පිටුපස සිට වල්ගය දක්වා විහිදී වෙන්වී ඇත. ශරීරයේ පාර්ශවිකව ඉතත සඳහන් කළු රේඛාවට ඉහළින් රතු වර්ණයෙන් යුත් සාපේක්ෂව ඝන රෙක්හාවක්ද වල්ගය තෙක් පිහිටයි. ඇතැම් සතුන්ගේ කශේ කොරල පෙළ දෙපසද කළු රේඛා යුගලයක් පිහිටයි. හිස පැහැදිළිව ගෙලින් වෙන්වී නොමැත. රවුම් කණිනිකා ඇති අක්ෂි පිහිටයි. හෝඹුවේ ඉදිරිපස තරමක් වක්‍රාකාර වේ. සාමාන්‍ය ප්‍රමාණයේ වල්ගය, පෞජ්‍ච උදරීය කොරල බෙදී ඇත. 

කොරළ වින්‍යාසය: මධ්‍ය දේහයේ හරස් කොරල පේලි 19ක් ඇත. උඩුතොල් කොරල 8-9 ඇත. අන්තර්-නාස් කොරල 1ක් පිහිටයි. උදරීය කොරල හා පෞජ්‍ච උදරීය කොරල පිළිවෙලින් 128-161, 53-85. ලෝරියල් කොරල :1, පූර්ව අක්ෂි කොරල :1

හඳුනාගන්නා ආකාරය : දිය වර්ණයන් පෙනුමෙන් සමාන වන්නේ ජලාශිතව හමුවන Fowlea cf. piscator විශේෂයේ දියබරියන්ටය. කෙසේ නමුත් දියබරියන් අඩි දෙකකට වඩා විශාල වන අතර ඇස් අසලින් රේඛා යුගලක් උඩුතොල් කොරල දක්වා පිහිටා ඇත. දියවර්ණයන්ට මෙම ලක්ෂණ නැත. තවද දියබරියන්ගේ ශරීරයේ වර්ණ පරාසයකින් යුත් රේඛාද පිහිටන්නේ නැත. දියවර්ණයාගේ එක් අන්තර්-නාස් කොරලයක් පිහිටන නමුත් දියබරියාගේ බෙදුන අන්තර්නාස් කොරල පිහිටීම වැනි ලක්ෂණ වලින් ඔවුන් වෙනකොට හඳුනාගත හැක.

ව්‍යාප්තිය :ඉහළ කඳුකරය හැරුණුකොට ශ්‍රී ලංකාව පුරාවටම ගංගා, පොකුණු, කාණු, තෙත් බිම්, කුඹුරු හා කඩොලාන වැනි ජලාශ්‍රිත පරිසර පද්ධති වල හමුවේ.

ස්වභාව විද්‍යාව : දියවර්ණයන් ප්‍රධාන වශයෙන් දිවාචර වේ. මෙම සර්පයන් ජලජ පරිසර පද්ධති ආශ්‍රිතව දිවි ගෙවයි. බුරුල් මැටි හා මඩ පස තුලද සැඟව සිටී. ඇතැම් සතුන් ජලය ආශ්‍රිතව ඇති ශාක මතද දක්නට ඇත.ජලජ පරිසරයකට අනුවර්තනය වී ඇති නිසාම මෙම සතුන්ගේ නාස් පුඩු තරමක් පෘෂ්ඨීව පිහිටා ඇත. එමගින් හිසේ ඉදිරි කොටස පමණක් ජලයෙන් ඉවතට දමා ජලය තුල සිටීමට හැකියාව ඇත. ආහාර ලෙස ප්‍රමුඛ වශයෙන් මත්ස්‍යන් හා උභයජීවීන් මත යැපේ. ප්‍රජනනයේදී අණ්ඩජතාව පෙන්වන අතර ගැහැණු සතුන් වරකට බිත්තර 30ක් පමණ දමයි. අව්රුද්දේ මුල් මාස වලදී පැටවුන් දැකගත හැක. මෙම විශේෂයට ඇති ප්‍රධානතම තර්ජන නම් කුඹුරු ආශ්‍රිතව සිදුකරන කෘෂි ක්‍රියාකාරම් වලින් මරණයට පත්වීම හා ජලයට පලිබෝධ නාශක ඇතුළු විෂ රසායනිකයන් එක් වීම නිසා වාසස්ථාන අහිමි වීමයි. රතු දත්ත වාර්තාවේ තර්ජනයට ලක් නොවූ (Least Concern) විශේෂයක් සේ සලකයි

වෛද්‍ය විද්‍යාත්මක වැදගත් බව : නිර්විෂ සර්පයෙක් වේ. බොහෝ විට සපා කෑමට තැත් කරන්නේ නැත.

විශේෂ කරුණු 
1) වසර මිලියන 5-10ත් අතර කාලයකට ඉහතදී පරිණාමය වී ඇත.
2) Fowlea ගණයේ සියලු විශේෂයන්ට ලඟම ඥාතීත්වය දැරීම 
3) බ්‍රිතාන්‍ය ජාතික පරිසරවේදියෙකු වූ පැට්‍රික් රසල් විසින් 1801 දී  "Chittee" යන තෙලුගු නමින් පළමු වරට මෙම විශේෂය ගැන සඳහන් කරන ලදී. පසුව රසල්ගේ එම විස්තරය හා සිතුවම යොදාගනිමින් ඩවුඩින් විසින් 1803දී Coluber schistosus ලෙසින් විද්‍යාත්මකව හඳුන්වාදෙන ලදී.

සටහන - සංජය කණිෂ්ක 


Comments