Boulenger's Bronzeback/පඳුරු හාල්දණ්ඩා (Dendrelaphis bifrenalis-Boulenger, 1890)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Komberi Mookan


Dendrophis bifrenalis BOULENGER 1890: 338
Dendrophis bifrenalis — BOULENGER 1894: 80
Dendrophis bifrenalis — WALL 1921: 215
Dendrophis boiga bifrenalis — MEISE & HENNIG 1932
Ahaetulla bifrenalis — SMITH 1943: 246
Ahaetulla bifrenalis — TAYLOR 1950: 554
Dendrelaphis bifrenalis — DAS 1996: 55
Dendrelaphis bifrenalis — KARUNARATHNA & AMARASINGHE 2011
Dendrelaphis bifrenalis — WALLACH et al. 2014: 215



පඳුරු හාල්දණ්ඩා නමින් හඳුන්වන මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ හමුවන අනෙකුත් හාල්දණ්ඩන්ගෙන් පහසුවෙන් වෙනකොට හඳුනාගැනීමට රතු පැහැති දිව හා ලෝරියල් කොරළ දෙකක් තිබීම යොදාගත හැක. ඒ රතු පැහැ දිවක් දරන එකම හාල්දණ්ඩන් විශේෂය වන්නේ පඳුරු හාල්දණ්ඩා හේතුවෙන්ය. පැරණි ග්‍රන්ථ වල මෙම විශේෂය ඉන්දියාවේද වෙසෙන බව සඳහන් කර තිබුනත් ඉන්දියානු ගහණය Dendrelaphis girii ලෙස වෙන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් බවට තහවුරු විය.

හාල්දණ්ඩන් අයත් Dendrelaphis ඝනයේ බොහොමයක් සර්පයන්ගේ ශරීරයේ අපර කොටස පෘෂ්ඨීයව ලෝකඩ පැහැවන නිසා  ඉංග්‍රීසි භාෂාවෙන් "Bronzeback / Bronzeback Tree Snake" ලෙස හඳුන්වයි. දිගු සිහින් සිරුර සුමට කොරල වලින් වැසී ඇත. කේෂ කොරළ පෙළ පාර්ශවිකව ඇති කොරල වලට වඩා ප්‍රමාණයෙන් විශාලය.  පැහැදිළිව හිසෙන් වෙන් වී ඇති දිගැටි හිස පැතලි ස්වභාවයක් ගනී. බොහෝ රුකවාසී සර්පයෝන්ගේ මෙන් හාල්දණ්ඩන්ටද හිසට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ ඇස් පිහිටා ඇත. අන්තර් නාස් කෝරළයේ සිට ඇස හරහා ගෙල දෙසට වන්නට කළු පැහැති රේඛාවක් හිසේ පාර්ශවිකව පිහිටයි. හිස පෘෂ්ඨීයව ලා කොළ හෝ ගොම කොළ පැහැයක් ගනී. කූල් ගේ හාල්දණ්ඩා හා තුරු හාල්දණ්ඩාට වඩා හිස ප්‍රෂ්ඨඋදරීයව පැතලිය. ඇතැම් සතුන්ගේ ගෙල ප්‍රදේශය සිට මදක් අපර දෙසට වන්නට කළු පැහැති ඇල වූ කුඩා රේඛා පිහිටයි. අන්තර් කොරළ වර්ණය නිල පැහැ වේ. ගොදුරක් ගිලින විට හා බිය වූ අවස්තාවක ශරීරය පිම්බීමේදී මෙම නිල් පැහැය දැකගත හැක. ශරීරයේ පාර්ශවිකව කහ පැහැති රේඛාවක් බැගින් යුගලක් පිහිටා ඇත. ශරීර වර්ණය ප්‍රධාන වශයෙන් තඹ පැහැතිය. කේෂ කොරළ තරමක් ලා තඹ පැහැයක් ගනී. උදරීයව ලා කොළ හෝ කොළ මිශ්‍ර කහ වර්ණයක් ගනී.

දිවාචර සංචරනය පෙන්වන හාල්දණ්ඩන් ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින් සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම සතුන් ඉතා ඝන කැලෑ හා මද වශයෙන් ගස් වල් ඇති ස්ථාන වල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද දැකගත හැක. කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන් හා ගෙම්බන්, පඳුරු මැඩියන් ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. ඉතා අවධානයෙන් සිටින සර්පයෙක් වන අතර බිය වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා තමා විශාල සතෙක් ලෙස හඟවයි. මේ අයුරින් අනතුරු ඇඟවීමේදී කොරල ඈත් වන හෙයින් අන්තර් කොරළ සම නිල් පැහැයෙන් දිස්වේ. ප්‍රජනනයේදී අණ්ඩජතාව දක්වන මොවුන් වරකට බිත්තර 5ක් පමණ සංඛ්‍යාවක් කොළරොඩු හා ගස්බෙන වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 15cm පමණ දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 90cm තරම් විශාලව වැඩේ. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. 2012 IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Near Threatened (NT) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

සටහන - සංජය කණිෂ්ක 

Comments