Flowery Wolf Snake/මල් රදනකයා (Lycodon anamallensis-Günther, 1864)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Colombo Wolf Snake කුණු මී කරවලා Veettu Pambu, Nai Pambu

Lycodon aulicus ‘typica’ – Wall, 1909
Ophites anamallensis – Wall, 1923
Lycodon osmanhilli Taylor, 1950
Lycodon cf. aulicus morph2 – Ganesh & Chandramouli, 2011 Lycodon aulicus (in part.) Wallach et al. (2014)




වසර 68ක් පුරාවට මෙරටට ආවේණික විශේෂයක් ලෙස සලකන ලද මල් රදනකයා ඉතා සුලබව හමුවන සර්පයෙකි. ප්‍රාථමික දන්ත වින්‍යාසයක් පමණක් ඇති රදනකයන්ට එම නම හිමිව ඇත්තේ මුඛයේ ඌර්ධවහනුක භාහුවේ (maxillary jaw) හා අධෝහනුක භාහුවේ (mandible jaw) පෙර දෙසට වන්නට සාපේක්ෂව විශාලනය වූ දත් පිහිටීම හේතුවෙන්ය. නමුත් ඉංග්‍රීසි භාෂාවට අනුව Lycodon ගණයේ සර්පයන් Wolf Snakes ලෙස හඳුන්වන්නේ මෙම විශාලනය වූ දත් වෘකයෙකුගේ  විශාලනය වූ රදනක (Canines) දත් මෙන් දිස්වන හේතුවෙන්ය. රූපවිද්‍යාත්මකව අළු රදනකයාට බොහෝ සෙයින් සමාන වුවත් ශරීර වර්ණ රටා හොඳින් නිරීක්ෂණය කිරීම තුලින්  මෙම සර්ප විශේෂය වෙන්කොට හඳුනාගත හැක. මොවුන් ප්‍රධාන වර්ණරූපී ආකාර දෙකකින් හමුවේ. එනම් ශරීරයේ කිසිදු වෛරමක් නොමැති සත්වයන් හා වෛරම් ඇති සත්වයන් ලෙසයි. වෛරම් ඇති සත්වයින්ගේ ශරීරයේ ප්‍රෂ්ඨීයව සුදු/ක්‍රීම්/කහ පැහැති පුල්ලි 20ක් පමණ පිහිටයි. එසේ පුල්ලි පිහිටන සත්වයින්ගේ පාර්ශවික දේහයේ කිසිදු සලකුණක් නොපිහිටයි. වර්ණ රූපී ආකාර දෙකම දුඹුරු පැහැයේ තද පැහැයේ සිට ලා පැහැයට ඇති වර්ණ පරාසයකින් බහුලව හමු වේ. මීට අමතරව අලු,රතු මිශ්‍ර දුඹුරු , කහ මිශ්‍ර දුඹුරු වැනි වර්ණ වලින්ද හමුවේ.

පැහැදිලිව ගෙලෙන් වෙන් වී පෙනෙන හිස පැතලි ස්වභාවයක් ගන්නා අතර පෙයාස් ගෙඩියක හැඩයක් ගනී. කලබල වූ විට හිස තවත් පැතලි කරගන්නා හේතුවෙන් එවන් අවස්තාවක වඩා ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. උඩු තොල් සෑම විටම සුදු හෝ ක්‍රීම්/කහ පැහැතිය. ශරීර වර්ණයට සමාන දුඹුරු පැහැති පුල්ලි මෙම සුදු පැහැති උඩුතොල් කොරල වල පැහැදිලිව දක්නට ඇත. සිරස් කනීණිකාවක් සහිත අක්ෂි තද කලු පැහැයෙන් දිස්වේ. නිසාචර සර්ප විශේෂයක් වන මල් රදනකයින් තම ගොදුරු සොයා මිනිස් වාසස්ථාන වලට නිතර ඇතුල් වේ. අළු රදනකයා මෙන්ම රළු සිරස් ප්‍රෂ්ඨ දිගේ ඉහලට ගමන් කිරීමට සුවිශේෂ හැකියාවක් ඇත. දහවල් කාලයේදී කුඩා බිත්ති කුහර, දිරා යන ලී කොටන් , නිවාස තුල ඇති මල් පෝච්චි, ලී මඩු වැනි ස්ථාන වල දවස ගත කරන නමුත් සැන්දෑ හා රාත්‍රී කාලයේදී වඩා ක්‍රියාකාරී වේ. ඉතා පරීක්ෂාකාරී සර්ප විශේෂයක් වන මොවුන් අනතුරක් දැනුන විගස දඟරයක් ගැසී ආරක්ෂක ඉරියව්වකට ශරීරය සකසා ගනී. ඇතැම් අවස්තාවල ශරීරය දරනයක් ගසා හිස ඒ තුල සඟවා ගනී. නිදහස් අතින් අල්ලාගත්විට සපා කෑමට පෙළබේ. කෙසේ නමුත් අළු රදනකයින් තරම් සපා කෑමට නොපෙළඹෙන විශේෂයක් ලෙස සලකයි.

මල් රදනකයින් අණ්ඩජතාව මගින් ප්‍රජනනය සිදු කරයි. උපතේදී පැටවෙක් 14cm තරම් දිග වන අතර 50cm දක්වා වර්ධනය වේ. ප්‍රධාන වශයෙන් භෞමික සර්පයෙකි. දිවයින පුරා මුහුදු මට්ටමේ සිට 350m පමණ වන්නට වෙරළාසන්නව හා වියළි කලාපයේ බහුලව ව්‍යාප්තියක් දක්වයි. ප්‍රදාන ආහාරය ලෙස හූනන් හා සිකනලුන් වැනි කුඩා උරගයින් ගොදුරු කරගනු දැකිය හැක. මොවුන්ට ඇති ප්‍රධානම තර්ජනය වන්නේ මිනිසා සහ සුරතල් සතුන් ලෙස ඇතිකරන සත්වයන්ය. සුදු පැහැති වෛරම් නිසා උග්‍ර විෂ කරවැලෙක් ලෙස වැරදි අවබෝදයකින් බොහෝ අවස්තාවලදී මොවුන්ට මිනිසා අතින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. මීට අමතරව නිවාස වල ඇති කරන බළලුන් වැනි ගෘහස්ත සත්වයන් අතින් බහුලව මොවුන්ගේ ගහනයට තර්ජනයක් එල්ල වේ. දැඩි ලෙස සිදුවන වන විනාශය ද මොවුන්ට ඇති තර්ජනක් ලෙස සඳහන් කල හැක. ඉන්දියානු උපමහාද්වීපය තුල අළු රදනකයන්ගේ විශේෂ සංකීර්ණතාවක් (Species Complex) බොහෝ කලක් සිට දැකගත හැකිවුන බැවින් , ඒ පිළිබඳව 2018දී ප්‍රකාශිත පර්යේෂණ පත්‍රයකට අනුව ඇල්බට් ග්‍යුන්තර් විසින් 1864දී බටහිර ඝාත් ප්‍රදේශයෙන් සොයාගත් Lycodon anamallensis යන විශේෂය හා 1950දී ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද Lycodon osmanhilli යන විශේෂය එකම විශේෂයේ සතුන් ලෙස සොයා ගන්නා ලදී. 2012 IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි. 


Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 17
Ventral/උදරීය : 187
Sub-caudal/පෞච්ඡ උදරීය : 68 බෙදී ඇත/Divided
Anal Plate/ගුද කෝරලය : බෙදී ඇත/Divided
Supralabial/උඩුතොල් : 9 (3,5 ඇස ස්පර්ශ කරයි) Loreal/ලෝරියල් කොරල : 1

මල් රදනකයා සම්බන්ද විශේෂ කරුණු 

1) මෙම විශේෂයේ දර්ශක නිදර්ශකය ඉන්දියාවේ බටහිර ඝාත්හි Anamallay කඳුවැටිය (Anamallay Hills - Western Ghats) ආශ්‍රිතව හමුවූ බැවින් anamallensis ලෙස විශේෂ නාමකරණය සිදුකර ඇත.

2) 1950 සිට 2018 දක්වා Lycodon osmanhilli යන විද්‍යාත්මක නමින්  ශ්‍රී ලංකාවට ආවේණික සර්පයෙක් ලෙස සලකන ලදී.

3) Lycodon osmanhilli යන නාමය මෙම සර්පයාගේ පළමු ලාංකික නිදර්ශකය සොයාගත් බ්‍රිතාන්‍ය ජාතික William Charles Osman Hill මහතාට ගෞරවයක් වන ලෙස යොදාගනිමින් විස්තර කර ඇත.

4) පරිණාමිකව නැගෙනහිර ආසියාවේ ව්‍යාප්ත Lycodon capucinus විශේෂයට නෑකම් දක්වයි. 

සටහන - සංජය කණිෂ්ක



Comments