Boie's Rough-Sided Snake/ලේ මැඩිල්ලා (Aspidura brachyorrhos-Boie, 1827)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
නිදි ගුල්ලා

Scytale brachyorrhos BOIE 1827: 517
Aspidura scytale — WAGLER 1830: 191
Calamaria scytale SCHLEGEL 1837 (fide SMITH 1943)
Aspidura scytale — DUMÉRIL & BIBRON 1854: 128
Aspidura scytale — JAN 1865
Aspidura brachyorrhos — BOULENGER 1890
Aspidura brachyorrhus — BOULENGER 1893: 311
Aspidura brachyorrhos — WALL 1921: 204
Aspidura brachyorrhos — SMITH 1943: 336
Aspidura brachyorrhos — DAS 1996: 54
Aspidura brachyorrhos — MATTISON 2007: 230
Aspidura brachyorrhos — WALLACH et al. 2014: 58


මැඩිල්ලන් විශේෂ අතුරින් ඉතා අලංකාර එක් විශේෂයක් වන ලේ මැඩිල්ලා මුහුදු මටමේ සිට 350-900m තරම් වූ ප්‍රදේශ වල ව්‍යාප්ත වී ඇත. රතු වර්ණයෙන් යුත් ශරීරය හේතුවෙන් ලේ මැඩිල්ලා යන නාමය ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. තෙතමනය සහිත හ්යූමස් පස, දිරායන කොළ රොඩු , කොටන් ආදිය තුල දිවි ගෙවයි. තේ වතු හා වනාන්තර ආශ්‍රිතව සුලබව හමුවේ. මෙරට සර්පයන් පිලිබඳ පර්යේෂණ සිදු කළ උරග විද්‍යාඥ Frank Wall මහතාට අනුව මහනුවර ප්‍රදේශයන්ගේ වැඩි ගහනයක් දක්නට ඇත.

කුඩා ප්‍රමාණයේ සිරුර සිලින්ඩරාකාර වන අතර පෘෂ්ඨීයව සුමට කොරළ වලින් වැසී පවතී. හිස පැහැදිළිව ගෙලින් වෙන් වී නොමැත. අන් සියලු මැඩිල්ලන්ගේ මෙන් හොඹුව උල් වූ හිසක් පිහිටයි. ශරීර වර්ණය රතු පැහැයේ වර්ණ පරාසයකින් හමු වේ. කේෂ කොරළ පෙළ අසල ලා කහ හෝ තැඹිලි පැහැයෙන් යුත් රේඛාවක් නැට්ට දෙසට වන්නට පිහිටයි. මෙම රේඛාව මත කුඩා කළු පැහැ තිත් වැනි සළකුණු පෙළක් දිවයයි. ඇතැම් සතුන්ගේ මෙම තිත් පෙලට අමතරව ද්වීපාර්ශවිකව ද තිත් පෙළක් දක්නට ලැබේ. හිසේ අපර කොටසේ පෘෂ්ඨීයව කළු පැහැ පුල්ලි දෙකක් දක්නට ඇත. මෙම පුල්ලි දෙකට මැදිවූ තවත් පුල්ලියක් හිස මැදට වන්නට පිහිටයි. උදරීය පැහැය ලා කහ හෝ රතු මිශ්‍ර ලා කහ පැහැයක් ගනී. ඇතැම් සතුන්ගේ පෞච්ඡ උදරීය කොරල මත කළු පැහැ අක්‍රමවත් සලකුණු පිහිටයි. පිරිමි සතුන්ගේ ජම්බාලිය අසල කොරළ වල ගැටිති වැනි නෙරීම් පවතී.

අර්ධ පාංශුවාසී විශේෂයක් වන ලේ මැඩිල්ලන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ගැඩවිලුන් ආහාරයට ගනී. අණ්ඩජතාව මගින් වර්ගයා බෝ කරන මෙම සතුන් වරකට බිජු 2-10 ත් අතර සංඛ්‍යාවක් දමයි. වැඩුනු සතෙක් 40cm තරම් දිගකින් යුක්ත වේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලය. තර්ජනයක් දැනුන විගස හිස තම ශරීරය තුල සඟවා නිසොල්මන්ව සිටින අයුරු නිරීක්ෂණය කොට ඇත. මෙරටට ආවේණික විශේෂයක් නිසාත් වන විනාශය හේතුවෙන් මොව්න්ගේ පරිසර පද්ධති අහිමිව යාම වැනි කරුණු නිසාත් IUCN රතු දත්ත වාර්තාවේ අවදානම් / Vulnerable (VU) කාණ්ඩය යටතේ වර්ග කරයි.

කොරළ  වින්‍යාසය

Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 17
Ventral/උදරීය : 134-159
Sub-caudal/පෞච්ඡ උදරීය : 24-39 බෙදී නැත/Undivided
Anal Plate/ගුද කෝරලය : බෙදී නැත/Undivided
Supralabial/උඩුතොල් : 6 (4 ඇස ස්පර්ශ කරයි)
Loreal/ලෝරියල් කොරල : 0

ලේ මැඩිල්ලා සම්බඳ විශේෂ කරුණු

1) පළමුවරට විද්‍යාත්මකව විස්තර කරනු ලැබූ මැඩිල්ලන්  විශේෂය වීම.

2) ග්‍රීක බසින් බෙදී ආ වචන දෙකක් යොදාගනිමින් විශේෂ මට්ටමේ නාමකරණය සිදු කොට ඇත.  "කෙටි" යන තේරුම ඇති "brachus" හා වල්ගය යන තේරුම ඇති "orrhos"

සටහන - සංජය කණිෂ්ක

Comments

  1. It's a great time to go visit the island with it's collection of tropical Snakes. Sri Lanka now grants on arrival visas which was stopped due to COVID so now's a perfect time ;)

    ReplyDelete

Post a Comment