Commonly Asked Questions - සර්පයන් පිලිබඳ සමාජයේ ඇති පොදු ගැටලු

1) සර්පයන්ගේ ශරීරය මතුපිට සෙවලද ?

නෑ. උබය ජීවීන්ගේ පමණයි ශරීරයේ තෙතමනය තියෙන්නේ. සර්පයන්ගේ ශරීරය කොරල වලින් වැසී තිබෙන නිසා සෙවල ගතියක් දැනෙන්නේ නෑ. ඇතැම් සර්පයන්ගේ මෙම කොරල රළු වන අතර බොහෝ සර්පයන්ගේ කොරල මෘදු බවක් දක්වයි.

2) හබරලා නමින් උග්‍ර විෂ සර්පයෙක් සිටීද?

හබරලා/ හබරලියා/ හබරා නමින් සර්පයන් කිහිප දෙනෙක් විවිද ප්‍රදේශ මට්ටමෙන් හඳුන්වනු ලබන නමුත් පැරැන්නන් මෙම නම් භාවිත කොට ඇත්තේ සුළු විෂ කබර මාපිලා (Forsten's Catsnake - Boiga forsteni) හැඳින්වීමට බව උරග විද්‍යාඥයන්ගේ මතයයි. උච්චාරණයේ පහසුව තකා කබරා , හබරා ලෙසින්ද කබර මාපිලා හබර මාපිලා ලෙසින්ද යෙදී ඇති බව ඔවුන්ගේ මතයයි. රජරට ආශ්‍රිත වියළි කලාපයේ මෙම නම භාවිතා කරන්නේ උග්‍ර විෂ තෙල් කරවැලා (Common Krait -Bungarus caeruleus) හැඳින්වීමටය (වැඩුන සතුන්).. අනෙක් ප්‍රදේශ වල නිර්විෂ කටකලුවාටත්(Trinket Snake - Coelognathus helena) මේ නම භාවිතා කරන බව දැකගත හැක.

3) ශ්‍රී ලංකාවේ උග්‍රම විෂ සර්පයා කව්ද?

සර්පයන්ගේ විෂ ප්‍රබලත්වය මනින Median Lethal Dose (LD50) වර්ගීකරණය අනුව තෙල් කරවලා / Common Krait (Bungarus caeruleus) උග්‍රම විෂ සර්පයා ලෙස සැලකිය හැක. කෙසේ නමුත් ප්‍රතිකාර නොකරන ලද තෙල් කරවල් දෂ්ඨන නිසා මරණය ඉක්මනින් සිදු වුවත්, තිත් පොළගුන්ගේ දෂ්ටන වඩා භයානක වන්නේ මුළු ශරීරයට බලපාන රෝග ලක්ෂණ වැඩි වීමත් දෂ්ටනයකින් පසුව විවිද සංකූලතා රැසකට ලක් වීමත් හා සාපේක්ෂව වැඩි වේදනාවක් විඳීමට සිදුවන බැවින්ය.

4) සර්පයන්ගේ හැව විෂ සහිතද?

සර්පයන් තම ශරීර වර්ධනය සමග හැව ඇරීම සිදු කරනවා. මේ හැව අන් කිසිවක් නොව, සර්පයාගේ පෙර තිබූ සම කොටසයි. හැව කිසිලෙසකවත් විෂ සහිත නෑ. එය ස්පර්ශ කිරීම කිසි ලෙසකවත් හානි දායක වෙන්නේ නෑ