Saw-Scaled Viper/වැලි පොළඟා (Echis carinatus-Schneider, 1801)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Indian Carpet Viper Churuttai Korattai, Suruttai Pambu


Pseudoboa carinata SCHNEIDER 1801: 285
[Vipera (Echis)] carinata — MERREM 1820
Echis carinata — DUMÉRIL & BIBRON 1854: 1448
Echis carinatus — SMITH 1943: 487
Echis carinatus sinhaleyus DERANIYAGALA 1951
Echis carinatus — HARDING & WELCH 1980
Echis multisquamatus CHERLIN 1981
Echis carinatus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 376
Echis carinatus sinhaleyus — DAVID & INEICH 1999
Echis carinatus multisquamatus — DAVID & INEICH 1999
Echis multisquamatus — RASTEGAR-POUYANI et al. 2008
Echis carinatus — WALLACH et al. 2014: 255






ශ්‍රී ලංකාවේ වෙසෙන උග්‍ර විෂ සර්පයන් අතුරින් ඉතා සීමිත භූගෝලීය කලාපයක ව්‍යාප්තියක් දක්වන සර්ප විශේෂයක් ලෙස වැලි පොළගුන් හැඳින්විය හැක. වියළි කලාපයේ ඉතා ශුෂ්ක පරිසර පද්ධති හා කුඩා වැලි කඳු සහිත වෙරළබඩ ප්‍රදේශයන් වලට සීමාවූ ව්‍යාප්තිය නිසාත් වැලි තුල සැඟව සිටීම නිසාත් වැලි පොළගා යන නාමය මෙම සර්ප විශේෂයට ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. ඉන්දියානු උප මහද්වීපයෙන්ද වැලි පොළගුන් හමුවුවද ශ්‍රී ලංකානු වැලි පොළොන් ගහණය ඉන්දියානු ගහණයට වඩා ප්‍රමාණයෙන්(දිගින්) කුඩා වේ. මෙම සර්ප විශේෂය ඉතා පහසුවෙන් හඳුනාගත හැකි වන්නේ ශරීර ප්‍රමාණය හා ආරක්ෂක පියවරක් ලෙස කොරල එකිනෙක මැදීම මගින් නිපදවන ශබ්දය මගින්ය. ශරීරය කුඩා වුවත් ප්‍රෂ්ඨිමත් සිලින්ඩරාකාර හැඩයක් ගනී. පැහැදිලි කීලකයක් සහිත කොරල වලින් වැසුණු රළු දේහය බොහෝ විට අළු හෝ දුඹුරු පැහැයක් ගනී.

ශරීරයේ පාර්ශවික ප්‍රදේශයේ එකිනෙකට සම්බන්ද වූ හෝ වෙන්ව පිහිටා ඇති ආරුක්කුවක හැඩති සුදු/ක්‍රීම් පැහැති සලකුණු ගෙලෙහි සිට නැට්ට දක්වා ශරීරයේ දෙපසම පිහිටයි. ප්‍රෂ්ඨීයව මෙම ආරුක්කු හැඩති සලකුණු වල මුදුන් ඇතැම් විට සුදු පැහැ විශාල සලකුණු වලින් සම්බන්ද වී ඇත. එසේ නැතිනම් පෘෂ්ඨීයව දුඹුරු පැහැති පුල්ලි පෙළක් ලෙස ගෙලෙහි සිට නැට්ට දක්වා පිහිටයි. පැහැදිලිව ගෙලෙන් වෙන්වූ හිසේ පූර්ව කොටස රව්ම් වන අතර අපර කොටස වඩා පළල්ය. හිසේ ප්‍රෂ්ඨීයව ඇති දුඹුරු පැහැ පුල්ලියේ කුරුලු පාදයකට සමාන සුදු/ක්‍රීම් පැහැ සලකුණක් පිහිටයි. මෙම සලකුණ වැලි පොළගුන් හඳුනාගැනීමට භාවිතා කල හැකි සාධකයක් වේ. හිසේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල ඇස් පිහිටන වැලි පොළගාගේ නාස් පුඩුව ඉතා කුඩාය. සිරස් කනීණිකාවක් සහිත ඇසේ තාරා මණ්ඩලය රන් පැහැ වේ. උදරීයව සුදු පැහැයක් ගන්නා අතර දුඹුරු පැහැති කුඩා තිත්/පුල්ලි සෑම උදරීය කොරලයකම දක්නට ඇත. නැට්ට ඉතා කෙටිය.

ප්‍රධාන වශයෙන් නිසාචර භෞමික සර්ප විශේෂයක් වුවත් දහවල් කාලයේද සංචාරණයේ යෙදීම් වාර්තා වේ. වර්ෂා කාලයේදී වැඩුන සතුන් බොහොමයක් කුඩා පඳුරු මත සිටින ආකාරය දැක ගත හැක. දහවල් කාලයේදී ගල් කුහර, වියළි කොලරොඩු වැනි සාපේක්ෂව සිසිල් ස්ථාන වල කාලය ගත කරයි. වැලි පොළගුන් තම ශරීරය සියුම් වැලි තුලට ගිල්ලවා හිස පමණක් මතුපිටට පිහිටන සේ  නිසොල්මන්ව සිටීම වාර්තා වී ඇත. මෙය Echis ඝණයේ අනෙක් සර්පයින්ද සිදුකරන ක්‍රියාවකි. විලෝපිකයන්ගේ දෘෂ්ඨියට හසු නොවන ලෙස සිටීමටත් ශරීර උෂ්ණත්වය පාලනය කිරීමටත් ගන්නා පියවරක් ලෙස මෙම උපක්‍රමය සැලකිය හැක. වැලි පොළගුන් වැලි සහිත පොළවේ සංචරනයේදී side winding ආකාරය පෙන්නුම් කරයි. මෙයද වැලි පොළගාගේ උෂ්ණාධික ස්වභාවික පරිසරයට අනුව හැඩගැසීමකට උදාහරණයක් වේ. side winding ආකාරයට සංචරණය සිදු කිරීම තුලින් ශරීරයේ ස්ථාන දෙකක් පමණක් පොළව හා ස්පර්ෂ වේ. එබැවින් පොළව කෙතරම් උණුසුම් වුවත් අපහසුතාවයකින් තොරව වේගයෙන් ගමන් කිරීමට වැලි පොළගාට හැකියාව ඇත. ඉතා පරීක්ෂාකාරීව සිටින සර්පයෙක් වන අතර කුඩා බාදාවකින් වුවද කිපේ. තමාට තර්ජනයක් දැනුන විගස හිස ඉදිරියට පිහිටන සේ දඟරයක් ගැසී තම කොරපොතු එකිනෙක මැදෙන සේ ශරීරය චලනය කරයි. වැලි පොළගාගේ දේහයේ පාර්ශවික ප්‍රදේශයේ කොරල වල ඇති කීලකය  සාපේක්ෂව දැති සහිතව(Serrated) පිහිටීම හේතුවෙන් එක් කොරලයක ඇති දැති අනෙක් කෝරලයේ ඇති දැති හා ඇතිල්ලීමේදී කියතක ආකාරයේ ශබ්දයක් නිපද වේ. මෙය Echis ඝණයේ සර්පයන්ට ආවේනික වූ අනතුරු හැඟවීමේ ක්‍රමයකි.

ප්‍රජනනයේදී අන්ඩජලාබුජතාව පෙන්වන වැලි පොළගුන් වරකට පැටවුන් 3-12ත්  අතර සංක්‍යාවක් ප්‍රසූත කරයි. උපතේදී පැටවුන් දිගින් 8cm තරම් වන අතර  හොඳින් වැඩුනු සතෙක් 30-50cm තරම් වේ. වැලි පොළගුන් ප්‍රධාන ආහාරය ලෙස කුඩා ක්ෂීරපායීන් හා  කටුස්සන් වැනි උරගයින් ආහාරයට ගන්නා අතර කුඩා පැටවුන් කෘමීන් වැනි අපෘෂ්ඨවන්ශීන් මත යැපේ. මීට අමතරව අනෙක් කුඩා සර්පයන් හා ගෙම්බන්ද ආහාරයට ගනී. දිවයිනේ උතුරු නැගෙනහිර, වයඹ හා ගිනිකොණ දිග වෙරළ කලාපයේ ඇති කටු පඳුරු සහිත ලඳු කැලෑ හා වැලි කඳු සහිත පරිසර පද්ධති වල ව්‍යාප්ත වී සිටී. වැලි පොළගුන් අයත් වන්නේ  ලෝකයේ මිනිසාට ප්‍රබලව බලපාන උග්‍ර විෂ ඇති සර්පයන් ඝණයකටය. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වෙසෙන වැලි පොළොන් ගහණයේ විෂේ ප්‍රබලත්වය ඉන්දියානු උප මහාද්වීපයේ හා මැද පෙරදිග ඇතැම් රටවල ව්‍යාප්ත වී සිටින E.carinatus සර්පයන්ගේ විෂේ ප්‍රබලත්වයට වඩා අඩු බව විද්‍යාඥයින්ගේ මතයයි. යුද සමයේදී දෂ්ටන නිසා සෙබළුන් මියගිය බව සැක කලද එය සනාථ කිරීමට නිසි වෛද්‍ය වාර්තා නොමැත. වැලි පොළගාගේ විශේ සංයුතිය සැලකූ විට ප්‍රධාන වශයෙන් රුධිර සංසරණ පද්ධතියට හානි කරන Haemotoxins හා  පටක වලට හානි කරන Cytotoxins යන ධූලක අඩංගු වේ. දෂ්ටනයක් සිදු වුවහොත් රෝගියාව නිසි ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට ප්‍රමාද වුවහොත් ජීවිත හානි සිදුවිය හැක. දෂ්ටනයකදී ස්ථානීය රෝග ලක්ෂණ(Local Envenomation) ලෙස සැපුම් ස්ථානයෙන් අදික රුධිර වහනයත්, දෂ්ට මුඛය අවට දිය පට්ටා දමා ඉදිමීමත් දැකිය හැක. සම්පූර්ණ සිරුරටම බලපාන රෝග ලක්ෂණ (Systematic Envenomation) ලෙස ලේ කැටිගැසීම් ප්‍රමාද වීම නිසා සිදුවන අබ්‍යන්තර රුධිර වහනයත් දැක්විය හැක. ශරීරයෙන් කුඩා නිසා එක් දෂ්ටනයකදී පිට කරන විෂ ප්‍රමාණය 12mg තරම් කුඩා වුවත් විෂේ ප්‍රබලත්වය නිසා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යාවශ්‍ය වේ. මිනිසා සඳහා මාරක මාත්‍රාව 5mg තරම් වේ (ඉන්දීය වැලි පොළොන් ගහනය යොදා ගනිමින් කල පර්යේෂණ වල ප්‍රථිපල බැවින් ලංකාවේ සිටින ගහනය සඳහා 100% නිවැරදි නොවීමට ඉඩ ඇත). 2016 වර්ෂයේ අග භාගය වන විට කොස්ටරීකා රාජ්‍යයේ "Clodomiro Picado Research Institute" ආයතනය මගින් ශ්‍රී ලංකාවේ වැලි පොළොන් දෂ්ටන වලට ප්‍රතිකාර කිරීම සඳහා නව ප්‍රතිවිෂ එන්නතක් නිෂ්පාදනය කර ඇත.

කොතරම් උග්‍ර විෂ සර්පයෙක් වුවත් පරිසරයේ සමතුලිතතාව රැකදීමට උපකාර වන වැලි පොළගා මිනිසාටද නිහඩ සේවයක් ඉටු කරයි. එනම් මිනිස් සිරුරේ රුධිරය කැටිගැසීම ඇති කරන රුධිර පට්ටිකා එකතුවීම වලක්වන ප්‍රති පට්ටිකා ඖෂධයක්(Anti-Platelet Drug) වන Tirofiban නිපදවීමට වැලි පොළගාගේ විෂ භාවිතා කිරීමයි. නොදැනුවත්කම හා අනිසි බිය වැනි කරුණු නිසා කුඩා ප්‍රදේශයකට සීමාවී සිටින මෙම සර්පයන් නිකරුනේ මරා දැමීම මොවුන්ගේ පැවැත්මට ඇති ප්‍රධානතම තර්ජනයයි. මීට අමතරව දැඩිව සිදුවන වන විනාශයත් රාත්‍රී කාලයේ සිදුවන මාර්ග අනතුරුත් මෙම සර්ප විශේෂයේ ගහණය අවම වීමට සීග්‍ර ලෙස බලපෑම් ඇති කරන සාධක ලෙස සැලකිය හැක. රතු දත්ත වාර්තාවේ වඳ වී යාමේ තර්ජනයට භාජනය විය හැකි සර්ප විශේෂයක් (Vulnerable-VU)ලෙස හඳුන්වා දී තිබේ.

සර්ප දෂ්ටන වලින් වැළකී සිටීමට අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග දැනගැනීම සඳහා සර්ප දෂ්ටන කළමනාකරණය ලිපිය කියවන්න.


Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 25-37
Ventral/උදරීය : 132-195
Sub-caudal/පෞච්ඡ උදරීය : 21-48 බෙදී නැත/Undivided
Anal Plate/ගුද කෝරලය : බෙදී නැත/Undivided
Supralabial/අධ්‍යදර : 10-12

වැලි පොළගා සම්බන්ද විශේෂ කරුණු

1) ශ්‍රී ලංකාවේ වෙසෙන උග්‍ර විෂ සර්පයන්ගෙන් කුඩාම විශේෂය වීම.
2) Viperidae කුලයේ කුඩාම සර්පයන් සිටින ඝණයේ වීම.
3) වේගවත් දෂ්ටනයක් සිදු කල හැකි සර්පයෙක් වීම. තත්පරයකටත් වඩා අඩු (<1 Second) කාලයකදී පහරදී/දෂ්ට කර නැවතත් පෙර ඉරියව්වට පැමිණීමේ හැකියාවක් වැලි පොළගුන්ට ඇත.
4) 1951 වර්ෂයේදී සත්ව හා උරගවේදියකු වූ දැරණියගල මහතා Echis carinatus sinhaleyus නමින් උප විශේෂයක් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී ඇති බව ප්‍රකාශ කලද වර්තමානයේදී මෙම උප විශේෂය වලංගු උප විශේෂයක් බව නොසලකයි.

සටහන - සංජය කණිෂ්ක



Comments