Snake Bite Management - සර්ප දෂ්ටන කළමනාකරණය

සර්ප දෂ්ටන නිසා සිදුවන ජීවිත හානි ලෝකයේ බොහෝ රටවල් මුහුණපාන ගැටළුවක් වුවත් දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු රටවල් මෙම ගැටළුවට බරපතල ලෙස මුහුණපා සිටී. ආසියානු රටවල් බොහොමයක් කෘෂි ආර්ථිකයක් මත යැපෙන හෙයින් මිනිසුන් සර්පයන් හා ගැටෙන අවස්ථාවන්ද වැඩිය. වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුතාව, තම අවට පරිසරයේ සිටින සතුන් ගැන නොදැනුවත්කම වැනි කරුණු හේතුවෙන් මෙම කලාපයේ මිනිසුන් දැඩි ලෙස සර්ප දෂ්ටන වලට ලක්වේ. ලොව සර්ප දෂ්ටන නිසා සිදුවන මරණ අනුපාතය ඉහල රටවල් අතුරින් එකක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැක. ලොව වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් ලෙස සැලකෙන සර්පයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වී සිටීම හේතුවෙන් මරණාසන්න විය හැකි විෂ ශරීරගතවීම් වර්ෂය පුරාම වාර්තා වේ. අතීතයේදී මෙම විෂ ශරීරගතවීම් සිදුවූ දෂ්ටන සංඛ්‍යාව ට මියයන අනුපාතය ඉතා ඉහල අගයක් ගත්තද වර්තමානයේදී වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග එම සංඛ්‍යාව අවම කරගැනීමට අප සමත් වී ඇත. සර්ප දෂ්ටන සම්බන්දයෙන් අප දැනගෙන සිටිය යුතු විශේෂ කරුණක් නම් විෂකුරු සර්පයෙකු දෂ්ට කල පමණින් විෂ ශරීරගත නොවන බවයි. ඒ සඳහා  දෂ්ටනයේ යාන්ත්‍රික කාර්යක්‍ෂමතාව, එම අවස්ථාවේ විෂ ග්‍රන්ථි වල තිබූ විෂ ප්‍රමාණය, විෂ දල වර්ගය, එම මොහොතේ සර්පයාගේ ශරීරයේ පරිවුර්තීය ක්‍රියාකාරිත්වය, සතාගේ වයස(ප්‍රමාණය) වැනි සාධක කිහිපයක් බලපායි. කෙසේ නමුත් සර්ප දෂ්ටනයකදී රෝගියා කලබල නොකර අවශ්‍ය ප්‍රථමාධාර ලබා දී ලගම ඇති රජයේ රෝහලට රැගෙනයාම කල යුතු වේ. සියලුම රජයේ රෝහල් වලින් ප්‍රති විෂ එන්නත් ලබාගත හැකි අතර රෝග ලක්ෂණ මතුවූ විට පමණක් සුදුසු ප්‍රතිවිෂ එන්නත් ලබා දීම රෝහල් කාර්ය මණ්ඩලය මගින් සිදු කරයි.

අප දැනගෙන සිටිය යුතු ගොඩබිම්වාසී උග්‍ර විෂ සහ මද විෂ සර්පයන්

1) Common Krait/තෙල් කරවැලා (Bungarus caeruleus-Schneider, 1801) - Highly Venomous/උග්‍ර විෂ
2) Sri Lankan Krait/මුදු කරවැලා (Bungarus ceylonicus-Günther, 1858) - Highly Venomous/උග්‍ර විෂ
3) Spectacled Cobra/නයා (Naja naja-Linnaeus, 1758) - Highly Venomous/උග්‍ර විෂ
4) Russell's Viper/තිත් පොළඟා (Daboia russelii-Shaw & Nodder, 1797) - Highly Venomous/උග්‍ර විෂ
5) Saw-Scaled Viper/වැලි පොළඟා (Echis carinatus-Schneider, 1801) - Highly Venomous/උග්‍ර විෂ
6) Merrem's Hump-Nosed Pit Viper/පොළොන් තෙලිස්සා(Hypnale hypnale-Merrem, 1820) - Moderately Venomous/මද විෂ
7) Lowland Hump-Nosed Pit Viper/පහතරට මූකලන් තෙලිස්සා (Hypnale zara-Gray, 1849) - Moderately Venomous/මද විෂ (පහතරට වනාන්තර වාසී සර්පයෙක් නිසා මිනිස් දෂ්ටන සංඛ්‍යාව අවමයි,එක් මරණයක් වාර්තා වී ඇත)
8) Highland Hump-Nosed Pit Viper/කඳුකර මූකලන් තෙලිස්සා (Hypnale nepa-Laurenti, 1768) - Moderately Venomous/මද විෂ (කඳුකර වනාන්තර වාසී සර්පයෙක් නිසා මිනිස් දෂ්ටන සංඛ්‍යාව අවමයි)
9) Sri Lankan Green Pit Viper/පළා පොළඟා (Trimeresurus trigonocephalus-Donndorff, 1798) - Moderately Venomous/මද විෂ (රුක්වාසී සර්පයෙක් නිසා මිනිස් දෂ්ටන සංඛ්‍යාව අවමයි,මෙතෙක් මරණයක් වාර්තා වී නැත)
10) Sri Lankan Keelback/නිහලුවා (Balanophis ceylonensis-Günther, 1858) - Moderately Venomous/මද විෂ (තෙත් කලාපීය වනාන්තර වාසී සර්පයෙක් නිසා මිනිස් දෂ්ටන සංඛ්‍යාව අවමයි, විෂ ඇතුල්කිරීම අපහසුයි)
11) Blood-Bellied Coral Snake/බඩ රතු දෙපත්කලුවා (Calliophis haematoetron-Smith, Manamendra-Arachchi & Somaweera, 2008) - Moderately Venomous/මද විෂ (සීමිත ප්‍රදේශයකට සීමාවූ ඉතා කුඩා දුර්ලබ අර්ද-පාංශු වාසී සර්පයෙක් නිසා මිනිස් දෂ්ටන වාර්තා වී නැත, විෂ ඇතුල්කිරීම අපහසුයි)
12) Slender Coral Snake/දෙපත්කලුවා (Calliophis melanurus-Shaw, 1802) - Moderately Venomous/මද විෂ (ඉතා කුඩා දුර්ලබ අර්ද-පාංශු වාසී සර්පයෙක් නිසා මිනිස් දෂ්ටන සංඛ්‍යාව අවමයි, විෂ ඇතුල්කිරීම අපහසුයි)


සර්ප දෂ්ටන වලක්වා ගැනීම

බොහොමයක් සර්ප දෂ්ටන වලට හේතුව අපගේ ඇති නොසැලකිලිමත් කම හා අප අවට පරිසරය කෙරෙහි ඇති අනවබෝධයයි. පහත සඳහන් නිර්දේශ අනුගමනය කිරීම තුලින් සර්ප දෂ්ටන අවම කරගත හැක.

1) නිවසේ අහාර හා කුණු කසල නිසි ලෙස කළමනාකරණය කිරීම


අහාර පාන වර්ග හා කුණු කසල නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් නිවස තුල මීයන් වැනි සතුන් බෝවිය හැක. සර්පයන්ට මෙවැනි ආහාර ප්‍රබවයන් ඇති විට නිවාස තුලට ගොදුරු සොයා පැමිනීම දැකගත හැක. එම නිසා නිසි ලෙස අපද්‍රව්‍ය හා අහාර කළමනාකරණය කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. මීට අමතරව නිවස අවට පිරිසිදුව තබාගැනීමද සර්පයන්ට සැඟව සිටීමට සුදුසු බිත්ති කුහර වැනි ස්ථාන පිලිසකර කිරීම සිදු කල යුතුය.

2) පොළව පැහැදිළිව නොපෙනෙන ස්ථාන වල පය තදින් ගසා ගමන් කරන්න 

සර්පයන් හට වාතය ඔස්සේ සම්ප්‍රේෂණය වන ශබ්ද ග්‍රහණයට බාහිර ශ්‍රවන ඉන්ද්‍රයක් නොතිබුණද පොළව මතුපිටින් පැමිණෙන කම්පනයන් ඉතා නිරවද්‍යව හඳුනාගත හැක. එබැවින් ඇවිදින විට කම්පන ඇතිවන සේ ගමන් කරන්න. මෙසේ සිදුකිරීමෙන් සර්පයෙකු සිටී නම් එම සත්වයා ඉක්මන් එම ස්ථානයෙන් ඉවත්වීමට ඇති ප්‍රවනතාව ඉහලය.
3) රාත්‍රී කාලයේදී එළිමහනේ ගමන් කරන විට විදුලි පන්දමක් භාවිතා කරන්න

බොහෝ උග්‍ර විෂ හා මද විෂ සර්පයන් නිසාචර සර්ප විශේෂ වන අතර ගොම්මන් කාලයේ හා රාත්‍රී කාලයේදී ක්‍රියාශීලී සංචරණයක් දැකිය හැක. මින් ඇතැම් සර්පයන්ගේ ශරීර වර්ණ රටා පරිසරය හා අනුවර්තනය වී තිබීම නිසා මිනිසාගේ ඇස ගැටීමට ඇති ප්‍රවණතාවයද අවමය. එබැවින් හොඳින් ආලෝකය නිකුත් කරන විදුලි පන්දමක් භාවිතා කිරීම වඩා උචිත වේ.
4) එළිමහනේ හා වගාබිම් වල ගමන් කිරීමේදී නිසිලෙස පාද ආවරණ භාවිතා කරන්න

සර්පයන් සිටිය හැකි යැයි සැක කරන ස්ථාන වල ගමන් කිරීමේදී පාදයේ වළලුකරට තරමක් ඉහලින් කොටසද ආවරණය වන සේ සුදුසු ඝන පාද ආවරණ පළදින්න. සර්පයන්ගෙන් සිදුවන දෂ්ටන බොහොමයක් දණහිසට පහතින් කොටසේ සිදුවන බැවින් මෙලෙස පාද ආවරණ භාවිතා කිරීම වඩා යෝග්‍ය වේ. 


5) අපරික්ෂාකාරී ලෙස සර්පයන් සිටිය හැකි ස්ථාන වලට අත නොදමන්න

තුඹස්, ගස් බෙන, බිත්ති කුහර, ලී කොටන් තුලට හා ඝනව වැඩුන පැලෑටි වැනි සර්පයන් සිටියහැකි ස්ථාන වලට පෙර පරීක්ෂාවකින් තොරව අත නොදමන්න. එවැනි ස්ථාන නිවස අවට ඇත්නම් ඒවා සතුන්ට හානියක් නොවන සේ ඉවත් කරන්න.


6) නාදුනන සර්පයන් අතට ගැනීම හෝ නිදහස් අතින් හැසිරවීමෙන් වලකින්න

නාදුනන සර්පයෙක් හමු වූ විට එම සර්පයා මරා දැමීමට හෝ අතට ගැනීමට උත්සාහ කිරීම දෂ්ටනයක් වීමට ඇති ප්‍රවනතාව වැඩි කරයි. සර්පයන් ඉතා සංවේදී සතුන් කොට්ටාශයක් බැවින් අනවශ්‍ය ලෙස හැසිරවීම තුලින් සතාට විශාල පීඩනයක් (Stress) දැරීමට සිද්ද වේ. චලතාපී සත්ව කොට්ටාශයක් බැවින් අපගේ ශරීරයේ උෂ්ණත්වයට හැඩගැසීමට නොහැකි නම් සපා කෑමට හෝ දෂ්ට කිරීමට පෙළඹේ. ඇතැම් කුඩා සර්ප විශේෂ මෙම පීඩනය හේතුවෙන් මරණයටද පවා පත්වේ. ඔබ එසේ සිදුකරන චායාරූප සමාජ ජාල අඩවි වලට එක් කිරීමෙන් වලකින්න. මෙමගින් වැරදි අවබෝධයන් හා තොරතුරු සමාජගත විය හැක.


7) නින්දට යාමට පෙර තම නිවස/ කාමර පරීක්ෂා කරන්න

ඔබ සිටින්නේ සර්පයන් වැඩි වශයෙන් ඉන්නා ප්‍රදේශයක නම් රාත්‍රී නින්දට යාමට පෙර ඇඳන් හා මෙට්ට/ඇතිරිලි පරීක්ෂා කරන්න. එවැනි ප්‍රදේශ වල බිම නිදාගැනීම සිදු නොකරන්න. දොරවල් හා පොලව අතර ඇති හිඩැස් රෙද්දක් හෝ වෙනයම් දෙයක් යොදාගනිමින් අවහිර කරන්න.



8) මරණයට පත්වූ සර්පයන්ගේ හිස ප්‍රදේශයෙන් ඇල්ලීම සිදුනොකරන්න 

උරගයන් මියයාමෙන් පසුව වුවත් ස්නායු පද්ධතිය සම්පුර්ණයෙන් ක්‍රියාවිරහිත වීමට දිගු කාලයක් ගත වේ. (ඇතැම් විට පැයකට වඩා වැඩියෙන්)මියගිය වේලාව නොදන්නා විෂ සහිත සර්පයෙක් සිටින අවස්ථාවක හිස ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් වැළකිය සිටිය යුත්තේ අදාළ මාංශ පේශි උත්තේජනය වීමෙන් ප්‍රතීක දෂ්ටනයක්  (Reflex Bite) සිදුවිය හැකි බැවින්ය. 


9) ඔබ ධීවර කර්මාන්තයේ යෙදෙන්නෙක් නම්, දැල් වලට හසුවුන මුහුදු සර්පයන් නිදහස් අතින් හැසිරවීම සිදු නොකරන්න. ප්‍රවේශමෙන් ඔවුන් නැවත මුදාහරින්න.

සර්ප දෂ්ටන සඳහා ප්‍රථමාධාර

නිවැරදි ප්‍රථමාධාර ලබාදීම තුලින් රෝගියාගේ ශරීරයට ඇතුල් වූ විෂ පැතිරීම හා එමගින් සිදුවිය හැකි සංකූලතා අවම කරගත හැක. පහත සඳහන් ප්‍රථමාධාර නිර්දේශ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(Sri Lanka Medical Association)  විසින් නිකුත් කරන ලද නිර්දේශ වේ.


සර්ප දෂ්ටනයකදී නොකල යුතු දේ