Common Wolf Snake/අළු රදනකයා(Lycodon aulicus-Linnaeus, 1758)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Indian Wolf Snake Veettu Pambu, Nai Pambu

Coluber aulicus LINNAEUS 1758: 220
Natrix aulica — LAURENTI 1768: 74
Lycodon unicolor BOIE 1827 (fide SMITH 1943)
Lycodon subfuscus CANTOR 1839 (fide SMITH 1943)
Lycodon atropurpureus CANTOR 1839 (fide SMITH 1943)
Boaedon unicolor — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 359
Lycodon aulicum — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 369
Lycodon aulicus — GÜNTHER 1864
Lycodon aulicus — STOLICZKA 1870: 201
Lycodon atropurpureus — BOULENGER 1891: 463
Lycodon aulicus — BOULENGER 1893: 352
Lycodon atropurpureus — BOULENGER 1893: 356
Ophites aulicus — WALL 1921
Lycodon aulicus — WALL 1921: 151
Lycodon aulicus — SMITH 1943: 263
Ophites aulicus TEO & RAJATHURAI 1997
Lycodon aulicus — LANZA 1999
Lycodon aulicus — MURTHY 2010
Lycodon aulicus — WALLACH et al. 2014: 391



දකුණු ආසියාවේ වැඩිම ව්‍යාප්තිය දක්වන රදනක විශේෂය ලෙස අළු රදනකයා සැලකිය හැක. ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්තවී සිටින මෙම සර්ප විශේෂය නිර්විෂ කාණ්ඩයෙහිලා සලකයි. ප්‍රාථමික දන්ත වින්‍යාසයක් පමණක් ඇති රදනකයන්ට එම නම හිමිව ඇත්තේ මුඛයේ ඌර්ධවහනුක භාහුවේ (maxillary jaw) හා අධෝහනුක භාහුවේ (mandible jaw) පෙර දෙසට වන්නට සාපේක්ෂව විශාලනය වූ දත් පිහිටීම හේතුවෙන්ය. නමුත් ඉංග්‍රීසි භාෂාවට අනුව Lycodon ගණයේ සර්පයන් Wolf Snakes ලෙස හඳුන්වන්නේ මෙම විශාලනය වූ දත් වෘකයෙකුගේ  විශාලනය වූ රදනක (Canines) දත් මෙන් දිස්වන හේතුවෙන්ය. මොවුන් ප්‍රධාන වර්ණ රූපී ආකාර දෙකකින් හමුවේ. එනම් ශරීරයේ කිසිදු වෛරමක් නොමැති සත්වයන් (Unicolor වර්ණ ප්‍රභේදය) හා වෛරම් සහිත සත්වයන් ලෙසයි. අළු රදනකයින් කලු /අළු මිශ්‍ර දුඹුරු පැහැයේ සිට දුඹුරු වර්ණයේ විවිද පරාසයන්ගෙන් ඇති වර්ණ වලින් හමුවේ. පැහැදිලිව කඳෙන් වෙන්වූ හිස පැතලි ස්වභාවයක් ගන්නා අතර පෙයාස් ගෙඩියක හැඩයක් ගනී. කලබල වූ විට හිස තවත් පැතලි කරගන්නා හේතුවෙන් එවන් අවස්තාවක වඩා ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. කළු පැහැති අක්ෂි ගෝල නිසා සිරස් කණීනිකාව පැහැදිළිව දිස්නොවේ. ගෙලෙහි බොහෝවිට සුදු හෝ කහ පැහැති කර වළල්ලක් පිහිටයි. පැටවුන්ගේ මෙම කර වළල්ල ඉතා පැහැදිලිව දිස් වේ. ශරීරය පුරාවට සුදු හෝ ලා කහ පැහැති වෛරම්/හරස් පටි 25 ට වැඩි සංක්‍යාවක් දක්නට ලැබේ. මෙම හරස් පටි ගෙලෙහි සිට පටි 4ක් පමණ යෑමෙන් පසු පාර්ශවිකව බෙදීමකට ලක් වේ. උදරීය පාර්ශවික ප්‍රදේශයේ (Ventro-lateral side) සිට ප්‍රෂ්ඨීය දෙසට වන්නට ත්‍රිකෝණාකාර ලෙස මෙම බෙදීම දිස්වන අතර නැට්ට දෙසට වන්නට ක්‍රමයෙන් නැතිවී යයි. ඇතැම් අවස්ථාවල සමගණ විශේෂයක් වන මල් රදනකයාගේ ඇති ප්‍රෂ්ඨීය වෛරම් මෙන්ද දක්නට ලැබෙන අතර හිසෙහි උඩු තොල් කොරළ හා උදරීය කොරළ සුදු හෝ කහ මිශ්‍ර සුදු පැහැයක් ගනී. අළු රදනකයන්ගේ ශරීරය සිලින්ඩරාකාර වන අතර මෘදු කෝරල වලින් වැසී පවතී. 

නිසචාර සර්ප විශේෂයක් වන අළු රදනකයින් බොහෝ අවස්ථාවල මිනිස් වාසස්ථාන වෙත ගොදුරු සොයා ඇතුල් වේ. මොවුන්ට කපරාරු කල බිත්ති වැනි රළු ප්‍රෂ්ටවල සිරස්ව මද දුරක් ඉහලට ගමන් කිරීමේ හැකියාවක් ඇත. දහවල් කාලයේදී කුඩා බිත්ති කුහර, දිරා යන ලී කොටන් , ලී මඩු වැනි තැන්වල දවස ගත කරන නමුත් රාත්‍රී කාලයේදී වඩා ක්‍රියාකාරී වේ. ඉතා පරීක්ෂාකාරී සර්ප විශේෂයක් වන මොවුන් අනතුරක් දැනුන විගස පලා යෑමට තැත් කරයි. එය අසාර්ථක වුවහොත් දඟරයක් ගැසී ආරක්ෂක ඉරියව්වකට ශරීරය සකසා ගනී. ඇතැම් අවස්තාවල ශරීරය දඟරයක් කර හිස ඒ තුල සඟවා ගනී. නිදහස් අතින් අල්ලාගත්විට සපා කෑමට පෙළබේ.

අළු රදනකයින් ප්‍රජනනයේදී අන්ඩජතාවය දක්වයි. වරකට බිත්තර 3ත් 11ත් අතර සංක්‍යාවක් දමන අතර අලුත උපන් කුඩා පැටවුන් 15cmක් තරම් දිගකින් යුක්ත වේ. වැඩුන සතුන් 40cm සිට 80cm දක්වා පරාසයකින් හමුවේ. වර්ෂයකදී කිහිප වරක් බිජුලන අවස්තාද වාර්තාවී ඇත. 
ප්‍රධාන ආහාරය ලෙස Hemidactylus ගණයේ හූනන් හා සිකනලුන් වැනි කුඩා උරගයින් ගොදුරු කරගනු දැකිය හැක. මොවුන්ට ඇති ප්‍රධානම තර්ජනය වන්නේ මිනිසායි. ශරීර වර්ණ හා වෛරම් නිසා උග්‍ර විෂ කරවැල් විශේෂයක් ලෙස වැරදි අවබෝධයකින් බොහෝ අවස්තාවලදී මොවුන්ට මිනිසා අතින් ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. තර්ජනයක් දැනුන විගස දඟර ගැසී සපා කෑමට තැත් කරන බැවින් පොළගෙක් යැයිද සලකා මරා දමයි. මන්දයත් සමාජගත වී ඇති අසත්‍ය කරුණ වන්නේ පොළොන් විශේෂ පමණක් දඟර ගැසී ඉදිරියට පැන සපා කෑමට තැත් කරන බවයි. මීට අමතරව ගෘහස්ථ සතුන්ගේ ගොදුරු බවට පත්වීම හා දැඩි ලෙස සිදුවන වන විනාශය මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. 2012 IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.



Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 17
Ventral/උදරීය : 170-224
Sub-caudal/පෞච්ඡ උදරීය : 50-80 බෙදී ඇත/Divided
Anal Plate/ගුද කෝරලය : බෙදී ඇත/Divided
Supralabial/උඩුතොල් : 9 (3,5 ඇස ස්පර්ශ කරයි) Loreal/ලෝරියල් කොරල : 1

අළු රදනකයා සම්බඳ විශේෂ කරුණු

1) ලතින් බසින් "aulicus" යනු නිවැස් තුල සැරිසරන්නා යන අර්ථයයි. මෙම විශේෂය මිනිස් වාසස්ථාන ආශ්‍රිතව නිතර හමුවෙන හෙයින් Lycodon aulicus ලෙස නම් කොට ඇත.

 සටහන - සංජය කණිෂ්ක





* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K.D.B. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Press.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* http://www.reptile-database.org/ * https://en.wikipedia.org/wiki/Lycodon_aulicus

Comments