Common Bridal Snake/ගැට රදනකයා (Dryocalamus nympha-Daudin, 1803)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Vellore Bridal Snake ගැට කරවැලා

Coluber nympha DAUDIN 1803: 244
Hurria nympha — MERREM 1820: 93
Lycodon nympha — SCHLEGEL 1837: 120
Odontomus nympha — DUMÉRIL, BIBRON & DUMÉRIL 1854: 450
Hydrophobus semifasciatus — GÜNTHER 1862 (fide SMITH 1943)
Odontomus semifasciatus — GÜNTHER 1864: 234 (fide SMITH 1943)
Odontomus nympha — GÜNTHER 1864: 233
Dryocalamus nympha var. ceylonensis MÜLLER 1887 (fide SMITH 1943)
Hydrophobus nympha — BOULENGER 1890: 298
Dryocalamus nympha — BOULENGER 1893: 370
Dryocalamus nympha — WALL 1921: 166
Cochliophagus isolepis MÜLLER 1924
Dryocalamus nympha — SMITH 1943: 274
Dryocalamus nympha — DAS 1996: 56
Dryocalamus nympha — KARUNARATHNA & AMARASINGHE 2011
Dryocalamus nympha — WALLACH et al. 2014: 248
Lycodon nympha - Figueroa et al. 2016
Dryocalamus nympha - Lee et al. 2018



ශ්‍රී ලංකාවේ හමුවන ගැට රදනක විශේෂ දෙක අතුරින් සුලභවම හමුවන විශේෂය වන්නේ Dryocalamus nympha නැතිනම් Common Bridal Snake යන විශේෂයි. 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුල මෙම සර්පයන් රදනකයන් අයත් Lycodon ගණය නියෝජනය කලත් චිත්‍රසේකරගේ ගැට රදනකයාගේ (Dryocalamus chithrasekarai) විද්‍යාත්මක විස්තර කිරීමත් සමග නැවත Dryocalamus ගණයට ඇතුලත් කරන ලදී. රදනකයන් සහ ගැට රදනකයන් යනු වෙන්ව පරිණාමය වූ සත්ව කාණ්ඩ දෙකක් වන අතර ගැට රදනකයන් සාපේක්ෂව වැඩි රුක්වාසී ජීවන රටාවක් පෙන්වයි.

සිහින් දිගු ශරීරයක් ඇති මෙම සතුන්ගේ කොරල සුමට වන අතර මධ්‍ය දේහයේ හරස් කොරල පේලි 13ක් පිහිටා ඇත. ගෙලෙහි සිට ජම්බාලිය අසලට වන්නටම ශරීරයේ ඒකාකාර ප්‍රමාණයක් ගනී. ගෙලින් පැහැදිළිව වෙන්ව ඇති හිසේ ඉදිරිපස පෘෂ්ඨීයව බැලූ විට තරමක් ඕවලාකාර හැඩයක් ගනී. හිසට සාපේක්ෂව විශාල අක්ෂි පිහිටා ඇත. ශරීර වර්ණය තද දුඹුරු හෝ කළු මිශ්‍ර දුඹුරු වන අතර ගෙලෙහි සිට වල්ගය දක්වාම සුදු හෝ කහ පැහැති හරස් පටි 50ක් පමණ පිහිටා ඇත. මෙම හරස් පටි වල තැනින් තැන ශරීර වර්ණය පෙනෙන කුඩා හිඩැස් ඇති අතර පාර්ශවික පෙදසට වන්න දෙකට බෙදී උඩුයටිකුරු Y අකුරක් සේ දිස්වේ. තවද ශරීරයේ පෙර දෙසට වන්නට මෙම හරස්පටි වඩා පැහැදිළිව දිස්වන අතර වර්ධනයත් සමග අපර දෙසට වන්නට ඇති හරස්පටි වඩා විහිදී වියැකී යයි. ගෙල ප්‍රදේශයේ හරස්පටි වල පැහැයෙන්ම කරපටියක් පිහිටා ඇත. මෙම කරපටියේ ඉදිරිපස සීමාව ධ්‍යධර කොරල තෙක් විහිදී ඇත. උදරීයව සුදු හෝ කහ මිශ්‍ර සුදු පැහැයක් ගනී.

ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ හා වියළි කලාපය පුරාවටම ව්‍යාප්තව සිටින මෙම විශේෂය ප්‍රධාන වශයෙන් නිසාචර වේ. සවස් කාලයේදී ක්‍රියාශීලී ගැට රදනකයින් සුලභව මිනිස් වාසස්ථාන තුලට ගොදුරු සොයා ඇතුල්වේ. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ හූනන්ගේ බිත්තරයි. කුඩා සතුන් හූනු බිත්තර වල සිවිය තම උඩු හනුවේ පිටුපසට වන්නට ඇති දත් වලින් පසාරු කර මදය ගිල දමයි. වැඩුන සතුන්ට බිත්තර කෙලින්ම ගිලීමේ හැකියාවක් ඇත. Hemidactylus (ගෙයි හූනන්) හා Cnemaspis (දිවාසැරි හූනන්) විශේෂ වසර පුරාවටම බිත්තර දමන බැවින් හා අනෙක් සර්පයන්ගෙන් ආහාර වලට අඩු තරඟයක් ඇති හෙයින් මෙම සර්ප විශේෂයට ආහාර සුලභව ඇත. මීට අමතරව කුඩා උරග විශේෂද ආහාරයට ගත් අවස්ථා ඇත. අණ්ඩජතාව මගින් වර්ගයා බෝ කරයි. වරකට බිත්තර 2ක් හෝ 3ක් දමයි. බිත්තර හැඩයෙන් ඉතා දිගැටි වේ. උපතේදී පැටවෙක් 15cm තරම් දිග වන අතර 40cm -50cm දක්වා වර්ධනය වේ. කලබල වූ විට ශරීරය දඟරයක් සේ සකසා හිස ඒ තුල සඟවා ගනී. නිවාස ආශ්‍රිතව බහුලව හමුවන නිසා මිනිසාගෙන් හා ගෘහාශ්‍රිත සතුන්ගෙන් පැවැත්මට ඇති ප්‍රධාන තර්ජනය එල්ල වේ. 2012 IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය තර්ජනයට ලක් නොවූ / Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි. 

ගැට රදනකයා සම්බන්ද විශේෂ කරුණු 

1) නිදර්ශක නාමකරණයේදී ඇතිවූ දෝෂයක් නිසා 1924දී විසින් දකුණු ඇමරිකාවට අයත් නව විශේෂයක් ලෙස Cochliophagus isolepis විශේෂය ගැට රදනකයෙක් මගින් විස්තර කර ඇත. එය 2008 වසරේදී නිවැරදි කරන ලදී.

2) මෙම විශේෂයේ පළමු නිදර්ශක දකුණු ඉන්දියාවේ Vellore ප්‍රදේශයෙන් සොයාගත් බව Patrick Russell සටහන් කර ඇත.

3) 2003 හා 2005 වරස වලදී ශ්‍රී ලංකාවේ කුරුණෑගල හා දඹුල්ල ප්‍රදේශයන්ගෙන් හමුවූවා යැයි සැලකු මී ගැට රදනකයා (Dryocalamus gracilis) නම් විශේෂයේ නිදර්ශක සැබවින්ම ගැටරදනකයාගේ වැරදි ලෙස හඳුනාගත් ඒවා බව පසුව තහවුරු විය.

4) ලතින් බසින් nympha යනු මනාලියක් යන අරුතයි. මෙම සර්පයාගේ හරස් පටි පාර්ශවිකව විහිදෙන හෙයින් මානාලියකගේ වේලයක් වැනි හැඩය ඇති නිසා මෙම විශේෂ නාමය ලබා දී ඇත. Dryocalamus ගණයේ සතුන්ට පොදුවේ "Bridal Snakes" ලෙස හඳුන්වනේ බොහෝ විශේෂ වල මෙම හරස්පටි වේලයක් හැඩයට ඇති නිසාය.

සටහන සංජය කණිෂ්ක 

Comments