Ornate Flying Snake/මල්සරා (Chrysopelea ornata-Shaw, 1802)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Golden Flying Snake පොල්මල් කරවලා Parakkum Pambu

Coluber Ornatus SHAW 1802: 477
Coluber ibibiboca DAUDIN 1802 (fide SMITH 1943)
Chrysopelea ornata — BOIE 1827
Chrysopelea ornata — DUMÉRIL & BIBRON 1854: 1042
Chrysopelea ornata — WALL 1921: 305
Chrysopelea ornata — SMITH 1943: 251
Chrysopelea ornata lankavae DERANIYAGALA 1945
Chrysopelea ornata lankave — KANDAMBY 1997
Chrysopelea ornata — COX et al. 1998: 66
Chrysopelea ornata — MURTHY 2010
Chrysopelea ornata — WALLACH et al. 2014: 167



මල්සරා යනු අනංගයා හැඳින්වීමට යොදා ගන්නා එක් නමකි. සර්ප ලෝකයේද එලෙසම මල්සරෙක් සිටින බව ඔබ දනසිටියාද? මල්සරා නමින් හඳුන්වන සර්පයා ශ්‍රී ලංකාවේ හමුවන අලංකාරවත්ම සර්පයා ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරයි. ඉතා දැකුම්කලු වර්ණ රටාවන්ගෙන් හෙබි මෙම සර්ප විශේෂය පොල්මල් කරවලා ලෙසද හැඳින්වුවද සැබෑ කරවැල් විශේෂයක් නොවේ. ඉතා සුළු, වෛද්‍ය විද්‍යාත්මක වැදගත් කමක් නොමැති විෂක් සහිත මෙම සර්ප විශේෂය ශ්‍රී ලංකාවේ තෙත්,අතරමැදි හා වියළි දේශගුණික කළාප තුනෙහි ව්‍යාප්තවී සිටී.

දිගු සිහින් සිරුරක් සහිත මෙම විශේෂයේ දේහය සුමට කොරල වලින් වැසී පවතී. රුක්වාසී සර්ප විශේෂයක් බැවින් ගස් වල අතු පතර සංචරණය පහසුවීමට සිරුර පාර්ශවිකව පැතලි ස්වභාවයක් ගන්නා අතර දිගු පරිග්‍රාහක වල්ගය අතු වල එල්ලී සිටීමට උපයෝගී කරගනී. පැහැදිලිව ගෙලින් වෙන්වූ හිස හොඹුව දෙසට වන්නට පැතලි ස්වභාවයක් ගනී. ශරීරයේ පෘෂ්ඨීය වර්ණය කුඩා පැටවුන්ගේ කළු වර්ණයක් ගන්නා අතර පෙර සිට අපර දෙසට වන්නට ලා පැහැයේ සිට තද වර්ණයක් ගන්නා කහවන් හරස් පටි ගෙලෙහි සිට වල්ගය දක්වා දිවයයි. මෙම හරස් පටිවල පෘෂ්ඨීයව රතු හෝ තැඹිලි පැහැති පුල්ලිය බැගින්ද පිහිටයි. ඇතැම් සතුන්ගේ මෙම හරස් පටි අතර තද බවින් අඩු හීනි හරස්පටිද දක්නට ඇත. වැඩුන සතුන්ගේ ශරීර පැහැය ඔලිව් මිශ්‍ර කොළ හෝ කහ කොළ වන් පැහැයකින් ප්‍රමුඛ වේ. හිසේ පෘෂ්ඨීයව තැඹිලි හෝ කහ පැහැයෙන් යුත් තීරු 4ක් පමණ ගෙලෙහි සිට හොඹුව තෙක් පිහිටා ඇත.බොහෝ සතුන්ගේ හිසේ ඇස් මට්ටමට වන්නට පමණක් කළු පැහැති වන අතර අධ්‍යදර(උඩුතොල්) කොරල කහ පැහැති වේ. උදරීය පැහැය ලා කහ වන අතර පෞච්ඡ උදරීය කොරළ තද පැහැයක් සමග කහ පැහැති zigzag ආකාරයේ රටාවක් දක්නට ඇත.

දිවාචර සංචරනය පෙන්වන මල්සරා ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින් සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම සතුන් ඉතා ඝන කැලෑ හා මද වශයෙන් ගස් වල් ඇති ස්ථාන වල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද ඇතැම් අවස්ථාවල ගොදුරු සොයා මිනිස් වාසස්ථාන තුලටද පැමිණෙනු දැකගත හැක. Chrysopelea ඝනයේ අනෙක් සර්පයන්ට මෙන්ම ඉහල ස්ථානයක සිට පහළ ස්ථානයක් කරා වාතයේ පාවී (Gliding) ගමන් කිරීමේ හැකියාවක් මෙම සර්පයා සතු වේ. මේ සඳහා තම ඉලඇට විහිදුවා ශරීරය පැතලි කොට උදරීය වර්ගඵලය වැඩි කරගනී. විලෝපිකයෙක් හමුවේ එක් ගසක සිට තවත් ගසකට පලායෑම සඳහා මෙම චර්යා රටාව බෙහෙවින් උපකාරී වේ. ඉංග්‍රීසි බසින් Chrysopelea ඝනයේ සර්පයන් "Flying Snake" ලෙස හඳුන්වන්නේද මෙම හැසිරීම නිසාය. කුඩා කුරුල්ලන්, කටුස්සන් හා හූනන් ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව ගෙම්බන්/මැඩියන් හා කුරුළු බිත්තරද ආහාරයට ගනී. අණ්ඩජතාව මගින් ප්‍රජනනය සිදුකරන මෙම සර්පයන් වරකට බිත්තර 6-17ත් අතර සංඛ්‍යාවක් දමයි. උපතේදී පැටවුන් දිගින් 10cm පමණ වන අතර වැඩුන සතුන් 90-120cm පමණ දිගකින් යුක්ත වේ. කලබලකාරී සර්පයෙක් නොවුනත් තර්ජනයකදී වල්ගය වේගයෙන් සොලවනු නිරීක්ෂණය කල හැක. තවද ශරීරයේ පෙර කොටස දඟරයක් සේ සකසා සපා කෑමට තැත් කරයි. Opisthoglyph ආකාරයේ විෂ දල පිහිටයි. මුඛයේ උඩු ඇන්දේ මදක් පිටුපසට වන්නට විෂ දල පිහිටීම හේතුවෙන් යාන්ත්‍රික කාර්යක්ෂමතාවින් වැඩි දෂ්ටනයක් සිදු කිරීම අපහසුය. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂයේ ජාතික සංරක්ෂණ තත්වය Vulnerable (VU) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

මල්සරා සම්බන්ද විශේෂ කරුණු 

1) පරිණාමිකව Chrysopelea ගණය තුල Chrysopelea paradisi විශේෂයට ලඟම නෑකම් දක්වන අතර Ahaetullinae උපකුලය තුල හාල්දණ්ඩන් අයත් Dendrelaphis ගණයට ලගම නෑකම් පෙන්වයි 

2) මෙම විශේෂයේ ඇති ආකර්ෂණීය වර්ණරටා හේතුවෙන් පළමු විස්තර කිරීමේදී Shaw විසින් ornatus ලෙසින් විශේෂ නාමකරණයද, "Ornamented Snake" ලෙසින් ඉංග්‍රීසි නාමය ලබා දී ඇත. ලතින් බසින් ornate යනු හැඩකර ඇති, අලංකාර බැවින් යුත් යන තේරුමයි

3) දැරණියගල විසින් 1955 දී Chrysopelea ornata lankavae යනුවෙන් උප විශේෂයක් ශ්‍රී ලංකාවෙන් විස්තර කොට ඇත.

සටහන - සංජය කණිෂ්ක 


Comments