Hemprich's Shieldtail/දෙපත් තුඩුල්ලා (Rhinophis homolepis-Hemprich, 1820)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Trevelyan's Earth Snake, Kelaart's Earth Snake

Rhinophis homolepis HEMPRICH 1820: 119 (nom. nud. fide GANS 1966)
Dapatnaya Trevelyanii [sic] — KELAART 1853: 108
Dapatnaya Trevelyanii [sic] — KELAART 1854: 137
Mytilia gerrardi GRAY 1858: 440
Mytilia gerrardi — GRAY 1858: 379
Mytilia gerrardi — GRAY 1858 (redescription)
Rhinophis Trevelyanus — BEDDOME 1886: 7
Rhinophis trevelyanus — BOULENGER 1893: 142
Rhinophis homolepis — PETERS 1861
Rhinophis trevelyanus — WALL 1921: 38
Rhinophis homolepis — SMITH 1943
Rhinchophis trevelyana - GANS 1966: 16
Rhinchophis trevelyana - BAUER et al 1995
Rhinophis trevelyanus — JANZEN et al. 2007
Rhinophis homolepis — WICKRAMASINGHE et al. 2009
Rhinophis homolepis — WALLACH et al. 2014: 651



දෙපත් තුඩුල්ලා ශ්‍රී ලංකාවේ හමුවන තුඩුල්ලන් අතුරින් කැපී පෙනෙන රූප විද්‍යාවකට හිමිකම් කියන පාංශුවාසී සර්ප විශේෂයක් වේ. 1820 දී Angius homolepis නමින් විදු ලොවට එක වුන මෙම සත්වයා විද්‍යා නාමකරණ බොහොමයකට ලක් වූ සර්පයෙක් වේ. ඒ හේතුව නිසා හා ව්‍යාප්ති කලාපයේ ඒකාකාරී නොවී තැනින් තැන  ගහණයන් (patchy distribution) ඇති නිසා මෙම විශේෂය පිළිබඳව වැඩිදුර අධ්‍යයනයන් වැදගත් බව බොහෝ සත්වවේදීන් හා පර්යේෂකයන් පෙන්වා දී ඇත.

ශරීරයේ කොරළ සුමට ස්වභාවයක් ගනී. උල් වූ හිස හා ඇබයක් වැනි වල්ගය හා සුදු හෝ රෝස පැහැති පාර්ශවික සලකුණු යන ලක්ෂණ වලින් පහසුවෙන් හඳුනාගත හැකි මෙම සර්ප විශේෂය මධ්‍යම, සබරගමු පළාත්වල  හා ඌව පළාතේ 600m - 950m තරම් උන්නතාංශ වල වාර්තා වී ඇත. ශරීර වර්ණය ප්‍රධාන වශයෙන් කළු හෝ දුඹුරු මිශ්‍ර කළු පැහැයක් ගනී. පාර්ශ්ව-උදරීය ප්‍රදේශයට යන්න කොරළ වල උඩ හා යටි මායිම් සුදු / ලා රෝස පැහැයක් ගනී. මෙලෙස සෑම කොරලයකම සලකුණු ඇති බැවින් ශරීරයේ ඇති රේඛා සේ දිස්වේ. ඇතැම් සතුන්ගේ පාර්ශ්ව-උදරීය ප්‍රදේශයේ සුදු / ලා රෝස පැහැය ප්‍රමුඛ වේ. ශරීරයේ ද්වීපාර්ශවිකව ත්‍රිකෝණ හැඩයෙන් යුත් සුදු හෝ ලා රෝස සලකුණු පිහිටයි (එක පැත්තක සලකුණු 20ක් පමණ බැගින්). ශරීරයේ පෙර දෙසට වන්නට මෙම සලකුණු පෘෂ්ඨීයව එකිනෙක යා විය හැක. බොහෝ සතුන්ගේ පළමු සලකුණ මෙලෙස යා වී ඇත. වල්ග පලිහ කහ පැහැයෙන් යුක්ත වන අතර ගෝලාකාර ඇබයක් සේ සැකසී ඇත.   මෙම කොටසේ ප්‍රෂ්ඨීයව කුඩා නෞතල්‍ය වැනි නෙරුම් වල්ග අබයේ කෙලවර සිට මධ්‍ය දක්වා පිහිටයි. පැහැදිළි ගෙලක් රහිතය. උදරීයව සුදු පැහැ වන අතර කළු පති සලකුණු විසිරී ඇත.

පාංශු වාසී සංචරනයටම පරිණාමිකව හිමි වූ උල් හිස බුරුල් පස තුලින් හාරා යෑමට උපකාරී වේ. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි අක්ෂි කොරළයකින් ඒවා වැසී ඇත. අඩි 4ක් තරම් ගැඹුරින් පොලව තුල සිට හමුවූ අවස්ථා ඇත. ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. මීට අමතරව වේයන් හා අනෙකුත් පාංශු වාසී කෘමි සතුන් ආහාරට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, හා කෘෂි භූමි වල දුඹුරු පැහැයෙන් යුත් පස් ඇති ස්ථාන වල සුලභව හමුවේ. අන්ඩජලාබුජ තාව මගින් පැටව් බිහිකරන මෙම සතුන් වරකට පැටවුන් 2- 4ත් අතර බිහිකරයි. උපතේදී පැටවෙක් 9cm තරම් වන අතර වැඩුන සතෙක් 20-28cm පමණ වේ. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ තර්ජනයට ලක් වූ සර්ප විශේෂයක් (Endangered) ලෙස නම්කොට ඇත.

කොරල වින්‍යාසය 

Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 17
Ventral/උදරීය : 180-204
Sub-caudal/පෞච්ඡ උදරීය : 2-5 
තුන්ඩ කෝරලය ලලාට කෝරලයට වඩා දිගුය. සුළු වශයෙන් නෞතල්‍යක් දරයි.

දෙපත් තුඩුල්ලා සම්බන්ද විශේෂ කරුණු 

1) හෙම්ප්රිච් විසින් Angius homolepis යන නාමය මෙම විශේෂය සඳහා දෙනු ලැබුවත් පසුව එය Dapatnaya Trevelyanii, Mytilia gerrardi හා  Rhinophis Trevelyanus වැනි නම් වලින් හඳුන්වා ඇත. විශේෂ නාමය homolepis ලෙස නිවැරදි විය යුතු බව පීටර්ස් 1861දී ප්‍රකාශ කරන ලදී.


2) වර්ථමානයේ ඇති ජාන දත්ත අනුව පරිණාමිකව ගෝමර තුඩුල්ලා (Rhinophis blythii), එරංගවිරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji) හා තපෝ තුඩුල්ලා (Rhinophis drummondhayi) යන සර්පයන්ට ළඟ නෑකම් දක්වයි.   


සටහන - සංජය කණිෂ්ක 




Comments