Ravana's Rough-sided Snake/රාවණාගේ මැඩිල්ලා (Aspidura ravanai-L.J.M Wickramasinghe, D.R. Vidanapathirana, H.K.D. Kandambi, R.A. Pyron, N. Wickramasinghe, 2017)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil

Aspidura ravanai - Wickramasinghe et al 2017


හැඳින්වීම : ශ්‍රී පාද අඩවියේ ජෛව විවිධත්වය සම්බන්දව 2010 වසරේදී සිදුකරන ලද ගවේෂණ වලදී හමුවූ මෙම විශේෂයේ පළමු නිදර්ශකය පසුව මහාචාර්ය Alexander Pyron ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ වංශ ප්‍රවේණිය හා සම්බන්ද සිදුකළ පර්යේෂණයේදී ජාන විශ්ලේෂණය කිරීමෙන්, දළව මැඩිල්ලාට වෙනස් පරිණාමික පෙළපතක් පෙන්වන බව සොයාගැනීමත් සමග හඳුනා නොගත් මැඩිල්ලන් විශේෂයක් ලෙස නම් කරන ලදී. පසුව උරග හා උභයජීවී විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායම මෙම විශේෂයේ නව නිදර්ශකද සොයාගෙන 2017 වසරේදී නව විශේෂයක් ලෙස ශ්‍රී ලංකාව අතීතයේ පාලනය කලා යැයි සැලකෙන බලවත් රජවරයෙකු වූ රාවණා රජුට ගෞරවයක් ලෙස  Aspidura ravanai නමින් නම් කර ඇත.

භාහිර පෙනුම : කුඩා ප්‍රමාණයේ ශරීරයක් සහිතය. 45cm තරම් වර්ධනය වේ. පාංශු ස්ථරය තුලට පහසුවෙන් ගමන් කිරීමට උල් වූ හිසක් සහිතය. ශරීරයේ ප්‍රධාන පැහැය තද කළු වන අතර උදරීය කොරල හා හරස් දේහ කොරල පේළි දෙකක් පමණ වන්නට කහ හෝ තැඹිලි වර්ණයක් ඇති රේඛාවක් ද්වීපර්ශවිකව පිහිටයි. මෙම රේඛාව හිසේ උඩුතොල් කොරළ වල සිටම වල්ගය දක්වා පිහිටන නමුත් බොහෝ සතුන්ගේ ශරීරයේ මධ්‍යට වන්නට මැකී ගොස්ගොස් තැනින් තැන කැඩි රේඛාවක් සේ පිහිටයි. උදරීය පැහැය සත්වයාගෙන් සත්වයාට වෙනස් වේ. ඇතැම් සතුන්ගේ කළු පැහැ උදරයේ කහ පැහැති සලකුණු අක්‍රමවත් ලෙස තිබෙන අතර ඇතැම් සතුන්ගේ උදරීය පැහැය රතු පැහැතිය. අනෙක් මැඩිල්ලන්ගේ මෙන් ජම්බාලිය අසල ප්‍රදේශයේ පාර්ශවිකව රළු කන්ඨක පිහිටයි. කෙටි වල්ගයක් ඇත. පෞජ්‍ච උදරීය කොරල බෙදී නොමැත. 

කොරළ වින්‍යාසය: මධ්‍ය දේහයේ හරස් කොරල පේලි 15ක් ඇත. උඩුතොල් කොරල 6ක් ඇත. අන්තර්-නාස් කොරල 1ක් පිහිටයි. උදරීය කොරල හා නොබෙදුණු පෞජ්‍ච උදරීය කොරල පිළිවෙලින් 132-139, 20-28, ගුද කොරළය බෙදී නොමැත. පූර්ව අක්ෂි කොරළ 1; අපර අක්ෂි කොරළ 2ක් පිහිටයි

හඳුනාගන්නා ආකාරය : රාවණාගේ මැඩිල්ලාට පෙනුමෙන් සමාන වන්නේ එම ප්‍රදේශයේම හමුවන Aspidura trachyprocta (දළවා මැඩිල්ලා) විශේෂයි . රාවණාගේ මැඩිල්ලා දළවා මැඩිල්ලාගෙන් වෙන්කර හඳුනාගැනීමට නම් පිරිමි සතුන් යොදාගැනීම වඩා යෝග්‍ය වේ. එයට හේතුව වන්නේ මෙම විශේෂ දෙකම කොරළ වින්‍යාසය අතින් සමාන වීම හා ශරීර පැහැය තද වර්ණ ගන්නා සතුන් විශේෂ දෙකෙහිම වාර්තා වීමයි. නමුත් රාවණාගේ මැඩිල්ලා සෑම විටම තද කළු වන අතර හිසේ පාර්ශවිකව මධ්‍ය ප්‍රදේශයේ (4වන අධ්‍යදර කෝරළය අසල) සිට කහ පැහැති රේඛාවක් ශරීරයේ පසුපසට දිවයයි. බොහෝ සතුන්ගේ මෙම රේඛාව ශරීර මධ්‍යයේදී නොපිහිටන අතර තැනින් තැන කැඩි රේඛාවක් සේද පිහිටයි. තවද රාවණාගේ මැඩිල්ලාගේ ජම්බාලිය ආසන්නයේ පර්ශුක කොරළ දළවා මැඩිල්ලාට සාපේක්ෂව උල් වූ කන්ඨක නොපිහිටයි. මෙම ප්‍රදේශයේ සිට වල්ගය කෙලවර තෙක් කහ පැහැති රේඛාව පැහැදිළිව දිස් වේ. දළවා මැඩිල්ලාගේ මෙම රේඛාව රතු, රෝස වැනි පැහැයක් ගන්න අතර කළු , දුඹුරු , තැඹිලි වැනි වර්ණ වලින් යුක්ත වේ. වඩාත් නිවැරදි වෙන්කිරීමක් සඳහා පිරිමි සතුන්ගේ දෙබිඩි ලිංගික අවයව නිරීක්ෂණය සිදුකළ යුතුය. රාවණාගේ මැඩිල්ලාගේ දෙබිඩි ලිඟුවේ ඉහල අග්‍රය (Apex region) පටු අතර දළවා මැඩිල්ලාගේ එය පළල් වේ. තවද රාවණාගේ මැඩිල්ලාගේ දෙබිඩි ලිඟුව පෞච්ච උදරීය කොරල 5ක් දක්වා දිව යයි. දළවා මැඩිල්ලාගේ මෙම අගය 3-4ත් පමණ වේ.

ව්‍යාප්තිය : ශ්‍රී පාදයේ බටහිර බෑවුමේ මුහුදු මට්ටමේ සිට උස මීටර 1650-2000  අතර උන්නතාංශ වලට සීමා වී ඇත. මෙම විශේෂය රත්නපුර රජ මාවතේ ගෙත්තම්පාන(ඉඳිකටුපාන) අසල සිට හැරමිටිපාන ප්‍රදේශයට වන්නටත් කුරුවිට-එරත්න මාර්ගයේ ඉඳිකටුපාන සිට හැරමිටිපාන ප්‍රදේශයට වන්නටත් සුලභව හමුවේ.

ස්වභාව විද්‍යාව : අර්ධ පාංශුවාසී විශේෂ වන මැඩිල්ලන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ගැඩවිලුන් ගොදුරු කරගැනීම, මෙම විශේෂයේද ප්‍රධාන ආහාරය ලෙස සැලකිය හැක. දිරායන කොටන්, තෙතමනය සහිත කොළරොඩු හා ගල් යට මෙම විශේෂය හමුවේ. නව විශේෂයක් හේතුවෙන් වර්ගයා බෝකිරීම සම්බන්දයෙන් තොරතුරු දක්නට නොමැත. නමුත් අනෙක් මැඩිල්ලන් විශේෂ මෙන් අණ්ඩජතාව මගින් වර්ගයා බෝකිරීම සිදුකරන බව උපකල්පනය කල හැක. වර්ෂාවෙන් පසුව පොළව මතුපිටට පැමිණ සිටින අවස්ථා අපට දක්නට ලැබුණි. මෙරටට ආවේණික විශේෂයක් නිසාත්, ඉතා කුඩා භූගෝලීය ප්‍රදේශයකට සීමා වී සිටීම නිසාත් තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස සැලකිය හැක.

වෛද්‍ය විද්‍යාත්මක වැදගත් බව : නිර්විෂ සර්පයෙක් වේ. බොහෝ විට සපා කෑමට තැත් කරන්නේ නැත.

විශේෂ කරුණු 

1. වසර මිලියන 6.2ක් තරම් ඉහතදී, එනම් අවසාන මයෝසීන අවධියේදී,  දළවා මැඩිල්ලා හා මෙම විශේෂයේ පොදු ආධිතමයාගෙන් වෙන්වී පරිණාමය වී ඇත.


සටහණ - සංජය කණිෂ්ක



Comments