Schokar's Bronzeback/ෂොකාර්ගේ හාල්දණ්ඩා (Dendrelaphis schokari-Kuhl, 1820)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
මූකලන් හාල්දණ්ඩා Komberi Mookan


Dipsas schokari KUHL 1820
Dendrophis helena WERNER 1893 (fide SMITH 1943)
Dendrelaphis schokari — ROOIJEN & VOGEL 2008
Dendrelaphis schokari — WALLACH et al. 2014: 221



රූපවිද්‍යාත්මකව තුරු හාල්දණ්ඩාට බොහෝ සෙයින් සමාන වන ෂොකාර්ගේ හාල්දණ්ඩා මූකලන් හාල්දණ්ඩා ලෙසද හඳුන්වයි. මෙම විශේෂ දෙකෙහි සමානකම් කෙතරම්ද යත් අතීතයේ සිටි සත්ව විද්‍යාඥයන් පවා ඇතැම් අවස්තාවල සිතුවේ මොවුන් එකම විශේෂයේ සතුන් ලෙසයි. ජර්මාණු ජාතික සත්වවේදියෙකු වූ Heinrich Kuhl විසින් 1820 දී මෙම විශේෂය Dipsas schokari ලෙස විදු ලොවට එක කරත් පසුව 1894 දී Boulenger විසින් තුරු හාල්දණ්ඩාටම අයත් සතෙක් ලෙස නම් කොට ඇත. අවරුදු ගණනාවකට පසු 2008 වසරේදී කෞතුක නිදර්ශක 64ක් යොදාගනිමින් සිදුකරන ලද පර්යේෂණාත්මක විශ්ලේෂණයකින් හෙළි වුයේ මොවුන් වෙනම විශේෂයක් වන බවත් Dipsas schokari නැවත වලංගු විශේෂයක් බවය. උදරීය කොරළ , පෞච්ඡ උදරීය කොරළ , අක්ෂි විෂ්කම්භය , කේෂ කෝරළ පෙළෙහි දිවෙන රේඛාව හා හිසේ පෘෂ්ඨීයව ඇති සලකුණු වැනි ලක්ෂණ වලින් මොවුන් දෙදෙනා පහසුවෙන් වෙන් කොට හඳුනාගත හැක.

ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් වන ෂොකාර්ගේ හාල්දණ්ඩා තෙත් කලාපයේ හා අතරමැදි කලාපයන්වල මෙන්ම වියළි කළාපයේද  ව්‍යාප්තව සිටී. දිගු සිහින් සිලින්ඩරාකාර ශරීරයක් ඇති බැවින් හෙළබසින් "දණ්ඩා" යන නාමය ලැබී ඇති බව අපගේ විශ්වාසයයි. හාල්දණ්ඩන් අයත් Dendrelaphis ඝනයේ බොහොමයක් සර්පයන්ගේ ශරීරයේ අපර කොටස පෘෂ්ඨීයව ලෝකඩ පැහැවන නිසා  ඉංග්‍රීසි භාෂාවෙන් "Bronzeback / Bronzeback Tree Snake" ලෙස හඳුන්වයි. දිගු සිහින් සිරුර සුමට කොරල වලින් වැසී ඇත. කේෂ කොරළ පෙළ පාර්ශවිකව ඇති කොරල වලට වඩා ප්‍රමාණයෙන් විශාලය.  පැහැදිළිව හිසෙන් වෙන් වී ඇති දිගැටි හිස පැතලි ස්වභාවයක් ගනී. බොහෝ රුකවාසී සර්පයෝන්ගේ මෙන් හාල්දණ්ඩන්ටද හිසට සාපේක්ෂව විශාල ප්‍රමාණයේ ඇස් පිහිටා ඇත. ඇසේ පිටුපසේ සිට හිසේ අපර දෙසට වන්නට කළු පැහැති රේඛාවක් පිහිටයි. අධ්‍යදර (උඩු තොල්) කොරළ සුදු හෝ කහ පැහැති වන අතර 3 හෝ 4 වන අධ්‍යදර කොරළ වල මායිම් සිහින් කළු දාරයකින් සමන්විත වේ. ශරීර වර්ණය පෘෂ්ඨීයව දුඹුරු හෝ තඹ පැහැයක් ගනී. ඇතැම් සතුන්ගේ ගෙල ප්‍රදේශය සිට මදක් අපර දෙසට වන්නට කළු පැහැති ඇල වූ කුඩා රේඛා පිහිටයි. කේෂ කොරළ තද දීප්තිමත් රන් හෝ කහ පැහැයක් ගන්නා අතර එම පැහැය මද දුරක් අපර දෙසට දිවයයි. තුරු හාල්දණ්ඩාගේ ද මෙලෙසම රන් පැහැ රේඛාවක් තිබුනද එය කේෂ කොරල දෙපසින් ඇති කෝරළ පෙලටත් විසිරී ඇති අතර වඩා වැඩි දුරක් (ශරීරයේ මධ්‍යයට තෙක්) දිවයයි.

දිවාචර සංචරනය පෙන්වන හාල්දණ්ඩන් ඉතා වේගවත් ලෙස අතුපතර ගමන් කිරීමට තම සිහින් සිරුර උපයෝගීකර ගනී. දහවල් කාලයේ ඉතා ක්‍රියාශීලී මෙම සතුන් ඉතා ඝන කැලෑ හා මද වශයෙන් ගස් වල් ඇති ස්ථාන වල මෙන්ම ගෙවතු ආශ්‍රිතවද දැකගත හැක. කුඩා කුරුල්ලන්, කටුස්සන්, හූනන් හා ගෙම්බන්, පඳුරු මැඩියන් ආහාර ලෙස ගැනීමට වැඩි ප්‍රියතාවක් දක්වයි. මීට අමතරව කුරුළු බිත්තරද ආහාරයට ගනී. ඉතා අවධානයෙන් සිටින සර්පයෙක් වන අතර බිය වූ විට ශරීරයේ පෙර කොටස පුම්බා තමා විශාල සතෙක් ලෙස හඟවයි. මේ අයුරින් අනතුරු ඇඟවීමේදී කොරල ඈත් වන හෙයින් අන්තර් කොරළ සම නිල් පැහැයෙන් දිස්වේ. ප්‍රජනනයේදී අණ්ඩජතාව දක්වන මොවුන් වරකට බිත්තර 6-7ත් අතර සංඛ්‍යාවක් කොළරොඩු හා ගස්බෙන වැනි අඳුරු ස්ථානයක බිජුලෑම සිදුකරයි. උපතේදී පැටවෙක් දිගින් 15cm පමණ දිගකින් යුක්ත වන අතර වැඩුන සතෙක් 90cm තරම් විශාලව වැඩේ. දැඩි ලෙස සිදුවන වන විනාශය, මාර්ග අනතුරු හා අනිසි බිය නිසා සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. 2012 IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Least Concern (LC) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

කූල්ගේ හාල්දණ්ඩා සම්බන්ද විශේෂ කරුණු 

1) ඉහත සඳහන් 2008දී පළවූ විද්‍යා පත්‍රයට අනුව Dendrelaphis schokari විශේෂය ඉන්දියාවේ බටහිර වැටිය ආශ්‍රිතවද සිටින බව නිදර්ශක සහිතව පෙන්වුවත් ඊට වසරකට පසු එම කතුවරුන්ම නැවත පර්යේෂණයකින් පෙන්වා සිටියේ එම ඉන්දියානු ගහණය Dendrelaphis chairecaeos - Boie, 1827 විශේෂය වන බවත් Dendrelaphis schokari ශ්‍රී ලංකාවට ආවේණික බවත්ය. අද වන විටත් අප රටේ ඇති ඇතැම් ප්‍රකාශන වල මෙම කරුණ යාවත්කාලීනවී නැත.

සටහන  - සංජය කණිෂ්ක


Comments