Günther's Rough-sided Snake/කුඩා මැඩිල්ලා (Aspidura guentheri-Ferguson, 1876)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil

Aspidura guentheri FERGUSON 1876
Aspidura guentheri — BOULENGER 1893: 312
Aspidura guentheri — WALL 1921: 208
Aspidura guentheri — SMITH 1943: 338
Aspidura guentheri — DAS 1996: 54
Aspidura guentheri — WALLACH et al. 2014: 59




ශ්‍රී ලංකාවේ දැනට සොයාගෙන ඇති කුඩාම හා සිහින්ම මැඩිල්ලන් විශේෂය වන්නේ කුඩා මැඩිල්ලායි. කුඩා ශරීර ප්‍රමාණය මෙන්ම අවම උදරීය කොරළ සංඛ්‍යාවද හිසේ අපර කොටසේ පෘෂ්ඨීයව ඇති තැඹිලි පැහැ කරපටියක් වන් සලකුණද  සාපේක්ෂව මොට හෝම්බුව අනෙක් මැඩිල්ලන්ගෙන් වෙන් කර හඳුනාගැනීමේදී වැදගත් වේ.

කුඩා ප්‍රමාණයේ සිරුර සිලින්ඩරාකාර වන අතර පෘෂ්ඨීයව සුමට කොරළ වලින් වැසී පවතී. හිස පැහැදිළිව ගෙලින් වෙන් වී නොමැත. අන් සියලු මැඩිල්ලන්ගේ මෙන් හොඹුව උල් වූ හිසක් පිහිටයි. ශරීරයේ පෘෂ්ඨීය පැහැය දුඹුරු හෝ රතු මිශ්‍ර දුඹුරු වර්ණයකින් යුක්ත වේ. හිසේ අපර කොටසේ පෘෂ්ඨීයව තැඹිලි පැහැ කරපටියක් වන් සලකුණක් දක්නට ඇත. ශරීරයේ ද්වීපාර්ශවිකව හා කශේ කොරළ ආසන්නයේ කළු පැහැති තිත් පෙළක් වල්ගය දෙසට දිවයයි. උදරීය පැහැය දුඹුරු වන අතර ඇතැම් සතුන්ගේ අක්‍රමවත් කුඩා පුල්ලි විසිරී ඇත.

ලේ මැඩිල්ලාට මෙන් වැඩි ව්‍යාප්ති කලාපයක් සහිතය. පහතරට තෙත් කලාපයේ මෙන්ම කඳුකර තෙත් කලාපයේත් හමුවේ. අර්ධ පාංශුවාසී විශේෂ වන මැඩිල්ලන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ගැඩවිලුන් ගොදුරු කරගැනීම, මෙම විශේෂයේද ප්‍රධාන ආහාරය ලෙස සැලකිය හැක. ප්‍රජනනයේදී අන්ඩජතාව දක්වන මෙම විශේෂය වරකට බිත්තර 2ක් පමණ දමන බව සඳහන් වේ. වැඩුනු සතෙක් 15cm තරම් දිගකින් යුක්ත වේ. තෙතමනය සහිත දිරායන කොලරොඩු , බුරුල් පසක් සහිත කොටන් හා ගල් යට දිවි ගෙවයි. ඉතා ඉක්මනින් විජලනයට පත් වී මිය යා හැක. වැඩි වෙලාවක් නිදහස් අතින් හැසිරවීම සිදු නොකළ යුතුය. සපා කෑමට තැත් නොකරයි. අන් සියලු මැඩිල්ලන් මෙන් නිර්විෂ සර්පයෙකි. ගෙවතු ආශ්‍රිතව හමුවන නිසා ගෘහස්ථ සතුන්ගෙන් සිදුවන ජීවිත හානි හා වන විනාශය හේතුවෙන් වන වැස්ම ඇති ප්‍රදේශ අවම වීම මෙම විශේෂයට ඇති තර්ජන ලෙස දැක්විය හැක. IUCN රතු දත්ත වාර්තාවේ වඳ වීමේ තර්ජනයට ලක්වීමට ආසන්න තත්වයේ / Near Threatened (NT) සිටින සර්පයෙක් ලෙස වර්ග කොට ඇත.

කොරළ  වින්‍යාසය

Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 17
Ventral/උදරීය : 100-127
Sub-caudal/පෞච්ඡ උදරීය : 18-29 බෙදී නැත/Undivided
Anal Plate/ගුද කෝරලය : බෙදී නැත/Undivided
Supralabial/උඩුතොල් : 6 (4 ඇස ස්පර්ශ කරයි)
Loreal/ලෝරියල් කොරල : 0

කුඩා මැඩිල්ලා සම්බඳ විශේෂ කරුණු

1) ශ්‍රී ලංකාවේ සිටින කුඩාම හා සිහින්ම මඩිල්ලන් විශේෂය වීම

2) ජර්මන් ජාතික සත්වවිද්‍යාඥ ඇල්බර්ට් ග්‍යුන්තර්, Albert Günther (1830-1914) ට ගෞරවයක් ලෙස විශේෂ නාමකරණය සිදුකර ඇත.

සටහන - සංජය කණිෂ්ක


Comments