Brahminy Blind Snake/දුමුටු කණඋල්ලා (Virgotyphlops braminus-Daudin, 1803)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Seer Pambu

Eryx braminus DAUDIN 1803: 279
Tortrix russelii MERREM 1820
Typhlops Braminus — FITZINGER 1826:53
Argyrophis bramicus — TENNENT 1859:203
Onychocephalus capensis — PETERS 1860:83
Typhlops accedens JAN & SORDELLI 1864:3
Typhlops capensis — PETERS 1869:139
Typhlops avoterminatus GÜNTHER 1870:139
Ramphotyphlops braminus — NUSSBAUM 1980
Typhlops khoratensis — MCDIARMID, CAMPBELL & TOURÉ 1999
Ramphotyphlops braminus — BROADLEY & WALLACH 2009
Indotyphlops braminus — HEDGES et al. 2014
Indotyphlops braminus — SPAWLS et al. 2018: 354



ලොව පුරා වෙසෙන සර්පයන් අතුරින් ඉතා විශේෂ ස්ථානයක් දුමුටු කණඋල්ලා හට හිමිවන්නේ ලොව වැඩිම භූගෝලීය ව්‍යාප්තිය දක්වන ගොඩබිම්වාසී උරග විශේෂය වීම හේතුවෙන්ය. පාංශු වාසී දිවිපෙවතක් ගත කරන මෙම සර්පයින් බොහෝ අවස්ථාවල මිනිස් වාසස්ථාන තුල හා අවට හමුවුවත්, මොවුන්ගේ කුඩා ශරීර ප්‍රමාණය හා රූපවිද්‍යාව පණුවෙකුගේ අකාරය ගන්නා බැවින් බොහෝ පිරිසක් මොවුන් සර්පයන් ලෙස හඳුනාගන්නේ නැත. ශරීරය ඉතා සුමට, රුහිතාකාර (Diamond shaped) කුඩා කොරළ වලින් වැසී පවතින අතර සිලින්ඩරාකාරය. හිස ගෙලින් වෙන්වී නොමැත. හොඹුව අර්ධ-කවාකාර වේ. උප ශල්කමය ග්‍රන්ථි (Sub-squamous glands) කඩ ඉරි සේ දිස්වේ. ශරීර පැහැය බොහෝ විට දුඹුරු හෝ කළු මිෂ දුඹුරු පැහැයක් ගනී. හොඹුව ආශ්‍රිතව මද පැහැයක් ගනී. පාංශු වාසී දිවියට අනුරූපව පරිණාමය වූ කුඩා අක්ෂි කුඩා කළු තිත් දෙකක් ලෙස හිසේ තරමක් පෘෂ්ඨීය වන්නට පාර්ශවිකව පිහිටා ඇත. හොඳින් නිරීක්ෂණය කල විට සුදු පැහැති කුඩා දෙබල් දිව මගින් තම වට පිටාව පිරික්සන අන්දම දැකගත හැක. උදරීය කොරල පෘෂ්ඨීය ප්‍රදේශයට වඩා මද පැහැයක් ගන්නා අතර කොරළ වල ඇති තද පැහැති පුල්ලි වඩා පැහැදිළිව දිස් වේ. වල්ගය කෙලවර උල් වූ සුදු පැහැති කණ්ටකයක් පිහිටා ඇත. මෙය ප්‍රදාන වශයෙන් යොදාගනු ලබන්නේ රළු පෘෂ්ටයක් තදින් ග්‍රහණය කොට තම ශරීරය නැවත පිටුපසට ගෙන ඒම සඳහාය. මීට අමතරව ආත්මාරක්ෂාව සඳහාද යොදා ගනී.

නිසාචර සර්ප විශේෂයක් වන දුමුටු කණ උල්ලන් සවස් කාලයේදී සක්‍රීය වේ. වැස්සත් සමග පොළව මතුපිටට පැමිණීමේ වැඩි සම්භාවිතාවක් ඇත. දහවල් කාලයේ දියාපත්වන කොළරොඩු, පස් කන්ඩි තුල දිවිගෙවයි. තර්ජනයක් දැනුන විගස ඉතා කලබලකාරීව වේගයෙන් පලායාමට උත්සාහකරයි. නිදහස් අතින් හැසිරවීමේදී දුර්ගන්ද ශ්‍රාවයක් පිටකරන අතර තම උල් වූ වල්ග කණ්ටකය මගින් ඇනීමක් සිදුකර පලායාමට උත්සාහ දරයි. කිසිසේත්ම සපා කෑමට උත්සාහ කරන්නේ නැත. තම ප්‍රධාන ආහාරය ලෙස පාංශුවාසී කුඩා සතුන් ආහාරයට ගනී. මේ අතුරින් ගැඬවිලන්, කුහුඹුවන්, වේයන්, කෘමි පිළවුන් හා කෘමි බිත්තර, ප්‍රමුඛ ස්ථානයක් ගනී. ක්‍ෂීරපායීන්ට මෙන් ආහාර හැසිරවීම සඳහා ගාත්‍රා නොපිහිටන සර්පයන් තම ගොදුරු සම්පුර්ණයෙන්ම ගිලින නමුත් Indotyphlops හා  Virgotyphlops ගණයේ සර්පයන් තම ගොදුරු කැබලි වලට කඩා ආහාරයට ගන්නා බව පර්යේෂණ වලින් හෙළිව ඇත. වේයන්ගේ හිස සපා කෑමෙන් වෙන්කර කඳ පමණක් ආහාරයට ගන්නා ආකාරය වාර්තා වී ඇත. 1921 දී ෆ්‍රෑන්ක් වෝල් (Frank Wall) තබන ලද සටහනකට අනුව ආචාර්ය අනන්ඩෙල් (Dr.Annandale)සතුව සිටි දුමුටු කණඋල්ලෙකු දළඹු මළපහද ආහාරයට ගත බව කියවේ. ස්වභාවික පරිසරයේදී කරවැලුන් වැනි සර්ප භක්ෂණය සිදුකරන සර්පයන්ගේ ගොදුරු බවට පත්වී පරිසර සමතුලිතතාවට දායක වේ.

බොහෝ සර්පයන් ලිංගික සංසේචනයකින් පසුව වර්ගයා බෝකරන නමුත් දුමුටු කණඋල්ලන් අලිංගිකව එම ක්‍රියාව සිදුකරයි. අනිවාර්ය කෞමරොද්භවය (Obligate Parthenogenesis) මගින් මෙසේ වර්ගයා බෝකරන මෙම විශේෂයේ සියලුම සතුන් ගැහැණු සතුන් වන අතර සෑම පැටවෙක්ම මවගේ ක්ලෝනයක් වේ. වරකට බිජු 2-7ත් අතර සංඛ්‍යාවක් දමන අතර බිජුවක් සහල් ඇටයක් තරම් වේ. උපතේදී පැටවෙක් 35mm තරම් වන අතර වැඩුන සතෙක් 15cm තරම් වේ. ශ්‍රී ලංකාව පුරා මුහුදු මට්ටමේ සිට 1500m තරම් උසකට සියළු පරිසර පද්ධති වල දක්නට ඇත. මෑතකදී සිදුකරන ලද පර්යේෂණයන්ට අනුව දුමුටු කණඋල්ලා දකුණු ඉන්දියානු විශේෂයක් වන Indotyphlops pammeces හට ජාන ප්‍රවේණිය අනුව සමානකමක් පෙන්වන බැවින්, ඉන්දියානු සම්භවයක් සහිතව පරිණාමය වූ බව විශ්වාස කරයි. ලොව බොහෝ රටවල් වල ආක්‍රමණශීලී විශේෂයක් (Invasive species) ලෙස මොවුන් ව්‍යාප්තවී සිටින්නේ අලිංගිකව ප්‍රජණනය සිදුකිරීමට හැකිවීමත් විසිතුරු මල් ජ්‍යාතන්තර ප්‍රවාහනයේදී එම බඳුන් තුල සිට ව්‍යාප්ත වී සිටීමත් යන කරුණු හේතුවෙන්ය. ලොව වැඩිම ගහණයක් ඇති සර්පයෙකු බැවින් මොවුන් තර්ජනයකට ලක්වී නොමැත. 2012 IUCN රතු දත්ත වාර්තාවේ Least Concern (LC) යටතේ වර්ග කර ඇත.

දුමුටු කණඋල්ලා සම්බන්ද විශේෂ කරුණු 

1) ලොව වැඩිම භූගෝලීය ව්‍යාප්තිය දක්වන ගොඩබිම්වාසී උරග විශේෂය වීම
2)ලොව සිටින 3600 අධික සර්ප විශේෂ අතුරින් අනිවාර්ය කෞමරෝද්භවය (Obligate Parthenogenesis) මගින් බිජු සංසේචනය (අලිංගිකව) කර වර්ගයා බෝකරන එකම සර්ප විශේෂය වීම.
3) ගැහැණු සතුන් පමණක් සිටීම - පැටවුන් මවගේ ක්ලෝනයක් වේ 
4) ඉන්දියාවේ බ්‍රාහ්මණයින්ගේ දුඹුරු පැහැ වස්ත්‍ර වලට සමාන ශරීර පැහැය හේතුවෙන් "braminus" ලෙස නම්කර ඇත.
5) තම ආහාර කොටස් ලෙස කඩා ආහාරයට ගැනීම (homalopsidae කුලයේ සර්පයන් හැරුනකොට අනෙක් සර්පයන් එකවර ගොදුර ගිලදමයි)
6) වර්ණදේහ යුගල් 3 බැගින් (Triploid) ඇති ලොව වෙසෙන එකම සර්ප විශේෂය වීම 
7) අලිංගිකව ප්‍රජනනය සිදු කිරීම හේතුවෙන් ඉතා විශාල ගහනයක් ව්‍යාප්ති කලාපය පුරාවටම ඇත. ඇතැම් සර්පයන් හමු නොවන රටවල් වලද සිටින එකම සර්ප විශේෂය වන්නේද දුමුටු කණඋල්ලාය. මේ වන විට රටවල් 105ක පමණ වාර්තා වී ඇත. භාණ්ඩ ප්‍රවාහණය වැනි මිනිස් ක්‍රියාකාරකම් මගින් මෙලෙස රටවල් හා දූපත් වලට සංක්‍රමණය වීම සිදු වී ඇත. නමුත් පරිණාමය සිදු වී ඇත්තේ ඉන්දියාවේ හෝ ශ්‍රී ලංකාවෙදී බව අනුමාණ කරයි.
8) ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ Vizag නැතහොත් Visakhapatnam ප්‍රදේශයෙන් හමුවූ නිදර්ශක මගින් 1803දී විදු ලොවට එක් කර ඇත.

සටහන - සංජය කණිෂ්ක



* Mizuno, Takafumi & Kojima, Yosuke. (2015). A blindsnake that decapitates its termite prey. Journal of Zoology. 297. 10.1111/jzo.12268.
* Hedges, S & B Marion, Angela & M Lipp, Kelly & Marin, Julie & Vidal, Nicolas. (2014). A taxonomic framework for Typhlopid snakes from the Caribbean and other regions (Reptilia, Squamata).. Caribbean Herpetology. 49. 1-61.
* Alexander Pyron, Robert & Wallach, Van. (2014). strong>Systematics of the blindsnakes (Serpentes: Scolecophidia: Typhlopoidea) based on molecular and morphological evidence. Zootaxa. 3829. 1-81. 10.11646/zootaxa.3829.1.1.
* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K.D.B. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Press.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* http://www.reptile-database.org/

Comments

  1. How to get to the “casino” from the nearest casino - Dr.CMD
    The closest casino to 진주 출장샵 me will 삼척 출장샵 be the Casino Of Nevada, 김천 출장샵 and 청주 출장안마 we'll have the closest thing you need in Las Vegas. It's 천안 출장안마 a nice

    ReplyDelete

Post a Comment