- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Other Names- වෙනත් නම් | ||
English | Sinhala | Tamil |
Aspidura desilvai Wickramasinghe et al. 2019
දළව මැඩිල්ලාට හා රාවණාගේ මැඩිල්ලාට බොහෝ සෙයින් සමාන මෙම සර්ප විශේෂය ලෝක උරුම නකල්ස් කදුවැටියට පමණක් සීමාවී ඇත. කරාඹු හා මාදං අයත් Syzigium ගණයේ ශාක වලන් හෙබි ආවෘත වියන් සහිත වනාන්තර (Closed Canopy Forests) වල මෙම විශේෂය බහුලව දක්නට ඇත. කෙසේ නමුත් කොරළ වින්‍යාසය, ඇසේ සිට හොඹුව තෙක් ඇති දුර හා අක්ෂි විශ්කම්භයට අනුපාතය වැනි ලක්ෂණ මගින් රූපවිද්‍යාත්මකව සමාන අනෙක් මැඩිල්ලන්ගෙන් වෙන් කොට හදුනාගත හැක.
කුඩා ප්‍රමාණයේ සිරුර සිලින්ඩරාකාර වන අතර පෘෂ්ඨීයව සුමට කොරළ වලින් වැසී පවතී. හිස පැහැදිළිව ගෙලින් වෙන් වී නොමැත. අන් සියලු මැඩිල්ලන්ගේ මෙන් හොඹුව උල් වූ හිසක් පිහිටයි. උඩු හා යටි තොල් කොරළ ලා කහ පැහැයක් ගන්නා අතර තද පැහැ සීමාවකින් වෙන්වී ඇත. ශරීරයේ පෘෂ්ඨීය පැහැය රතු දුඹුරු මිශ්‍ර වර්ණයකින් යුක්ත වේ. ශරීරයේ අපර දෙසට වන්නට මෙම පැහැය තද ගතියක් ගනී. මීට අමතරව තනි කළු පැහැයේ සතුන්ද හමුවී ඇත. සෑම කොරළයක කුඩා කළු පැහැ තිත් දක්නට ඇත. කේෂ කොරළ පෙළ දිගේ හා දෙපසින් අක්‍රමවත් හැඩයෙන් යුත් කළු පැහැ පුල්ලි පෙළක් ගෙලිහි සිට වල්ගය දක්වා දිවයයි. තවද ඇස පිටුපසින් ආරම්භවන දුඹුරු පැහැ රේඛාවක් ද්වී පාර්ශිකව ඉහත සඳහන් පුල්ලි පෙළට පහලින් වල්ගය තෙක් සම්පුර්ණයෙන් හෝ අසම්පූර්ණයෙන් දිවයයි. මෙම සර්ප විශේෂයේ ශරීර පැහැයද ව්‍යාප්ති ප්‍රදේශයේ ඇති හ්යුමස් බහුල රතු දුඹුරු ලැටසෝලික් පසෙහි (Reddish Brown Latasolic Soil) වර්ණයටද තරමක් සමානකමක් දක්වයි. උදරීය පැහැය ලා කහ පැහැයක් ගනී. කළු පැහැ අක්‍රමවත් සලකුණු එහි විසිරී ඇත. පිරිමි සතුන්ගේ ජම්බාලිය අසල කොරළ වල ගැටිති වැනි නෙරීම් පවතී.
නකල්ස් කඳුවැටියේ මුහුදු මට්ටමේ සිට 995m -1700m අතර උන්නතාංශ වලට සීමා වී ඇත. අර්ධ පාංශුවාසී විශේෂ වන මැඩිල්ලන්ගේ ප්‍රධාන ආහාරය ලෙස ගැඩවිලුන් ගොදුරු කරගැනීම, මෙම විශේෂයේද ප්‍රධාන ආහාරය ලෙස සැලකිය හැක. නව විශේෂයක් හේතුවෙන් වර්ගයා බෝකිරීම සම්බන්දයෙන් තොරතුරු දක්නට නොමැත. නමුත් අනෙක් මැඩිල්ලන් විශේෂ මෙන් අණ්ඩජතාව මගින් වර්ගයා බෝකිරීම සිදුකරන බව උපකල්පනය කල හැක. වැඩුනු සතෙක් 20cm තරම් දිගකින් යුක්ත වේ. ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාලය. මෙරටට ආවේණික විශේෂයක් නිසාත්, ඉතා කුඩා භූගෝලීය ප්‍රදේශයකට සීමා වී සිටීම නිසාත්, එම ප්‍රදේශයේ ඇති සංචාරක ව්‍යාපාර මුල්කොට ගෙන සිදුවන වන විනාශය හේතුවෙන් තර්ජනයට ලක්වූ විශේෂයක් ලෙස සැලකිය හැක.
කොරළ වින්‍යාසය
Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 15
Ventral/උදරීය : 124-139
Sub-caudal/පෞච්ඡ උදරීය : 16-29 බෙදී නැත/Undivided
Anal Plate/ගුද කෝරලය : බෙදී නැත/Undivided
Supralabial/උඩුතොල් : 6 (4 ඇස ස්පර්ශ කරයි)
Loreal/ලෝරියල් කොරල : 0
දි සිල්වාගේ මැඩිල්ලා සම්බඳ විශේෂ කරුණු
1) ශ්‍රී ලංකාවේ හිටපු කෞතුකාගාර අධ්‍යක්ෂක වරයෙක් වූ හේමසිරි දිසිල්වා මහතාට ගෞරවයක් ලෙස විශේෂ නාමකරණය සිදුකර ඇත.
සටහන - සංජය කණිෂ්ක
Comments
Post a Comment