Gray's Earth Snake/කලු වකුටුල්ලා (Rhinophis melanogaster-Gray, 1858)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Black-bellied Shieldtail

Mytilia (Crealia) melanogaster GRAY 1858: 264
Mytilia melanogaster GRAY 1858: 380
Plectrurus ceylonicus PETERS 1859: 388
Rhinophis melanogaster — JAN 1865
Silybura melanogaster — BEDDOME 1886: 20
Silybura melanogaster — BOULENGER 1893: 146
Silybura melanogaster — WALL 1921:
Uropeltis melanogaster — SMITH 1943: 86
Uropeltis melanogaster — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 147
Uropeltis melanogaster — MATTISON 2007: 200
Uropeltis melanogaster — WALLACH et al. 2014: 780





කළු වකුටුල්ලා ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයන්ට සීමාවූ තවත් එක් පාංශු වාසී සර්පයෙකි. ශ්‍රී ලංකාවේ හමුවන Uropeltidae  කුලයේ සර්පයන්ගේ වල්ගපලිහ හා අනෙක් ලක්ෂණ වල ඇති වෙනස්කම් හේතුවෙන් මෑතක් වනතුරු ඔවුන්ව ගණයන් කිහිපයකට වර්ග කරනු ලැබුවා, Uropeltis ගණය නියෝජනය කල සර්පයන්ගේ වල්ග කෙලවර අනෙක් Uropeltidae කුලයේ සර්පයන්ගේ මෙන් ඇබයක හෝ පලිහක ආකාරයක් දක්නට නොලැබෙන අතර ඔවුන්ව පොදුවේ වකුටුල්ලන් ලෙස නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකාව නියෝජනය කල වකුටුල්ලන් තුන් දෙනෙක් (කළු වකුටුල්ලා, ඉරි වකුටුල්ලා හා රුහුණු වකුටුල්ලා) සිටිය අතර අද වන විට ඉන් එක්  විශේෂයක් (රුහුණු වකුටුල්ලා) ශ්‍රී ලංකාවේ හමු නොවන විශේෂයක් ලෙස සලකනු ලබයි. තවද මෙම කුලයේ සර්පයන්ගේ වංශප්‍රවේණිය සැලකූ විට ඔවුන් සියලු දෙනාම Rhinophis ගණයෙහිලා වර්ගකරනු ලබයි. මේ අනුව Uropeltis ගණය ඉන්දියාවට ආවේණික වේ.

තරමක් ෂඩාශ්‍රාකාර හැඩයෙන් ඇති සුමුදු කොරළ, උල් වූ හිස හා කුඩා වල්ග පලිහ වැනි ලක්ෂණ වලින් පහසුවෙන් හඳුනාගත හැකි මෙම සර්ප විශේෂය මධ්‍යම කඳුකරයේ හා නකල්ස් කඳුවැටියේ ව්‍යාප්තව ඇත. මින් නකල්ස් කඳු වල සිටින ගහණය වැඩිදුර  අධ්‍යයනය කිරීම සුදුසු යැයි ඇතැම් උරගවෙදීන්ගේ මතයයි. ශරීරය ප්‍රධාන ලෙස දුඹුරු හෝ නිල් මිශ්‍ර කළු පැහැයක් පෙන්වයි. ශරීරය පුරාවට අක්‍රමවත් කහ පැහැති තිත් විසිරී ඇත. උදරීය කොරළ වලට ආසන්නයේ මෙම කහ පැහැය වඩා ප්‍රමුඛ වේ. ඇතැම් සතුන්ගේ පාර්ශවික ප්‍රදේශය මෙම කහ පැහැය හේතුවෙන් රේඛා ලෙසද පිහිටයි. වල්ග පලිහ කුඩා වේ. එහි පෘෂ්ඨීයව කුඩා ගැටිති වල්ග පලිහේ කෙළවර සිට මධ්‍ය දෙසට වන්නට පිහිටන අතර වල්ග පලිහේ යට කෙළවරෙහි පැහැදිළිව දිස් වෙන කණ්ටක දෙකක් පිහිටයි. පාංශු වාසී සංචරනයටම පරිණාමිකව හිමි වූ උල් හිස බුරුල් පස තුලින් හාරා යෑමට උපකාරී වේ. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි කොරළයකින් එය වැසී ඇත. පැහැදිළි ගෙලක් රහිතය. උදරීයව කළු හෝ දම් මිශ්‍ර කළු පැහැයක් ගනී. එය කහ පැහැති පාර්ශවික කොරළ වලින් වට වී ඇති නිසා ශරීරයේ පෘෂ්ඨීය පෙනුමට වඩා උදරීය පෙනුම වර්ණවත්ය.

ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, කෘෂි භූමි හා වනාන්තර මෙන්ම තෘණ භූමි වල හමුවේ. නිසාචර සත්ව විශේෂයක් වේ. අන්ඩජලාබුජ තාව මගින් පැටව් බිහිකරයි. වැඩුන සතෙක් 30cm පමණ වේ. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ වඳ වීමේ අවදානමට ලක් වූ සර්ප විශේෂයක් (Endangered) ලෙස නම්කොට ඇත.

කළු වකුටුල්ලා සම්බන්ද විශේෂ කරුණු 

1) පරිණාමිකව ඉරි වකුටුල්ලා (Rhinophis phillipsi-Nicholls, 1929) හා කුවියර්ගේ වල්ගා ඇබයා (Rhinophis philippinus-Cuvier, 1829) හට ලගම නෑකම් දක්වයි 

2) උදරීය ප්‍රදේශය කළු පැහැති බැවින් melanogaster යන විශේෂ නාමකරණය ලැබී ඇත. ලතින් බසින් "melano" යනු කළු පැහැති යන අදහසද "gaster" යනු උදරය සම්බන්ද යන අදහස වේ.

සටහන - සංජය කණිෂ්ක




* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments