Drummond-Hay's Shieldtail /තපෝ තුඩුල්ලා (Rhinophis drummondhayi Wall, 1921)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Mannuli Pambu

Rhinophis drummondhayi WALL 1921: 43
Rhinophis drummondhayi — SMITH 1943: 89
Rhinophis drummondhayi — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 137
Rhinophis drummondhayi — JANZEN et al. 2007
Rhinophis drummondhayi — WICKRAMASINGHE et al. 2009
Rhinophis drummondhayi — WALLACH et al. 2014: 650




ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන කාලයෙදී ඌව හා සබරගමු පළාත් වල තේ වගාව සිදුකරනු ලැබූ වැවිලිකරුවෙකු හා පරිසරවේදියකු වන හෙන්රි මොරිස් ඩෘමන්ඩ්-හේ (Henry Maurice Drummond-Hay (1869–1932)) මහතා මෙරට සර්පයන් පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ කෙනෙක් බව එකල සිටි සත්වවේදීන්ගේ සටහන් තුලින් මනාව ඔප්පු වේ. තමා යටතේ තිබූ තේ වතු ආශ්‍රිතව හමුවන සර්පයන්ගෙ නිදර්ශක කිහිපයක් ඔහු විවිධ සත්වවේදීන්ට ලබා දී ඇත. එලෙස ෆ්‍රෑන්ක් වෝල් හට ලබාදුන් නිදර්ශක මගින් විස්තර කරන තපෝ තුඩුල්ලා ඩෘමන්ඩ්-හේ මහතාගේ නමින්ම ඔහු විස්තර කර ඇත. තපෝ තුඩුල්ලා පෙනුමෙන් එරංගවිරාජ්ගේ තුඩුල්ලාට (Rhinophis erangaviraji) හා ගෝමර තුඩුල්ලාට (Rhinophis blythii) සමාන වන අතර ඌව ප්‍රදේශයට සීමා වේ. 

ශරීරය ප්‍රධාන වශයෙන් රතු මිශ්‍ර දුඹුරු වර්ණයක් ගනී. දේහ කෝරළ වල දාර කහ පැහැති වේ. උදරීය ප්‍රදේශයට යන්නට කහ පැහැය වැඩිවේ. ශරීරයේ පෙර කොටසේ ද්වීපාර්ශවිකව වඩා දීප්තිමත් කහ පැහැයක් ගන්නා අතර ත්‍රිකෝණාකාර සලකුණු ලෙස හෝ සිග්සැග් ආකාරයේ තනි සලකුණක් සේ පිහිටයි. වල්ගය දෙසට යන්නට පෘෂ්ඨීය වර්ණය තද පැහැයක් ගනී. හිස දුඹුරු පැහැයක් ගන්නා අතර කහ පැහැති සලකුණු ඉතා ස්වල්ප ලෙස හෝ සම්පූර්ණයෙන් නොදරයි. දිවියෙන් වැඩි කලක් පාංශු වාසීව සිටින බැවින් අනෙක් සර්පයන්ගේ මෙන් අක්ෂි පිහිටා නොමැත. පාරගම්‍ය පටලයක් වැනි කොරළයකින් එය වැසී ඇත. පැහැදිළි ගෙලක් රහිතය. උදරීයව කහ පැහැය ප්‍රමුඛ වේ. පෞච්ඡ උදරීය කොරල දුඹුරු පැහැයක් ගනී. වල්ග පලිහට කලින් අර්ධ හෝ සම්පුර්ණ කහ පැහැති වළල්ලක් ඇත. වල්ග පළිහේ හැඩය ඉහත සඳහන් සමාන සර්ප විශේෂ දෙකෙහි මෙන්ය. කළු පැහැති වල්ග පලිහේ කුඩා ගැටිති වැනි නෙරීම් දක්නට ඇත.

තපෝ තුඩුල්ලන් ඌව පතන, දියතලාව, නමුණුකුල , හපුතලේ, කුඹල්වෙල හා හල්දුමුල්ල වැනි ප්‍රදේශයන් වලින් වාර්තා වී ඇත. ගැඩවිලුන් ප්‍රධාන වශයෙන් ආහාරයට ගනී. වර්ෂාවත් සමග පොළව මතුපිටට පැමිණෙනු දැකිය හැක. ගෙවතු, කෘෂි භූමි හා වනාන්තර මෙන්ම තෘණ භූමි වල හමුවේ. නිසාචර සත්ව විශේෂයක් වේ. අන්ඩජලාබුජ තාව මගින් පැටව් බිහිකරයි. වරකට පැටවුන් 2-5ත් අතර සංඛ්‍යාවක් දමයි. වැඩුන සතෙක් 33cm පමණ වේ. කලබල වූ විට ගුලිවී හිස සඟවා ගනී. කිසිවිටෙකට සපා කෑමට තැත් නොකරයි. මනිසා හා නිතර නොගැටුනත් පස් කැපීම , කෘෂි භූමි පිළියෙළ කිරීම් වැනි ක්‍රියාකාරකම් මෙම සතුන්ගේ පැවැත්මට ඇති තර්ජන සේ සැළකිය හැක. මේ වන විට රතු දත්ත සටහනේ වඳ වීමේ අවදානමට ලක් වූ සර්ප විශේෂයක් (Endangered) ලෙස නම්කොට ඇත.

තපෝ තුඩුල්ලා සම්බන්ද විශේෂ කරුණු 

1) පරිණාමිකව එරංගවිරාජ්ගේ තුඩුල්ලා (Rhinophis erangaviraji Wickramasinghe, Vidanapathirana, Wickramasinghe & Ranwella, 2009) හා ගෝමර තුඩුල්ලා (Rhinophis blythii-Kelaart, 1853) හට ලගම නෑකම් දක්වයි 

2) පළමු නිදර්ශක ඌව පතනේ Lennock තේ වතු යායෙන් හමුවී ඇත.

3) වෝල් විසින් මද්‍යසාර මගින් සංරක්ෂණය කල නිදර්ශක මගින් මෙම සර්ප විශේෂය විස්තර කර ඇති හෙයින් , සතාගේ වර්ණය දුඹුරු පසුබිමේ සුදු පැහැති සලකුණු ඇති ලෙස දක්වා ඇත. මධ්‍යසාර තුලදී කහ වර්ණය සුදු බවට පත්වීම මීට හේතු විය හැක.

සටහන - සංජය කණිෂ්ක





* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae).

Comments