Wart Snake/රෙදි නයා (Acrochordus granulatus-Schneider, 1799)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Little File Snake මඩ පණුවා, දිය ගොයා
Hydrus Granulatus SCHNEIDER 1799
Acrochordus fasciatus SHAW 1802
Pelamis granulatus — DAUDIN 1803
Chersydrus [fasciatus] — CUVIER 1817: 532
Chersydrus granulatus — MERREM 1820: 138
Acrochordus fasciatus — RAFFLES 1822
Hydrus granulatus — RAFFLES 1822
Acrochordus granulatus — CANTOR 1847
Chersydrus annulatus GRAY 1849
Chersydrus fasciatus — DUMÉRIL & BIBRON 1854: 41
Chersydrus fasciatus — JAN 1863
Chersydrus granulatus — BOULENGER 1893: 174
Chersydrus granulatus — DE ROOIJ 1917: 43
Chersydrus granulatus — WALL 1921: 79
Chersydrus granulatus granulatus — LOVERIDGE 1938: 209
Chersydrus granulatus luzonensis LOVERIDGE 1938: 209
Acrochordus granulatus granulatus — HAAS 1950
Chersydrus granulatus — GRUBER in GRZIMEK 1970
Chersydrus granulatus — GRANDISON 1978: 285
Acrochordus granulatus — MANTHEY & GROSSMANN 1997: 296
Acrochordus granulatus — COX et al. 1998: 17
Acrochordus granulatus — GAULKE 1999
Acrochordus granulatus — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 227
Chersydrus granulatus — SHARMA 2004
Acrochordus granulatus — MURTHY 2010
Acrochordus granulatus — COX et al. 2012: 67
Acrochordus granulatus — WALLACH et al. 2014: 7



හැඳින්වීම : රෙදි නයින් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ වෙරළාසන්න ප්‍රදේශ වල සුලභවම හමුවන සමුද්‍රවාසී සර්ප විශේෂයක් වේ. මෙම සර්පයන් අයත් වන්නේ Acrochordidae නම් සුවිශේෂී සර්ප කුලයකට වන අතර වර්තමානය වන විට එහි විශේෂ 3ක්ද නෂ්ඨ වී ගිය එක් විශේෂයක්ද හඳුනාගෙන ඇත. මින් ශ්‍රී ලංකාවෙන් Acrochordus granulatus නම් විශේෂය පමණක් හමුවන අතර කුඩාම විශේෂය වන්නේද ඔවුන්ය. ධීවර කර්මාන්තයේදී මත්ස්‍ය දැල් වලට විශාල වශයෙන් හසුවන මෙම සර්පයන් බොහෝ විට ධීවරයන් විසින් මරා දමනු ලබයි. එසේත් නැතිනම් දැල් වල පැටලීම නිසා බෝට්ටු තුලදීම මරණයට පත් වේ. ඇතැම් රටවල ආහාරයක් ලෙසද පරිබෝජනයට ගනු ලබයි. දියගොයා හා මඩ පණුවා ලෙස ධීවරයන් හඳුන්වනු ලබයි.


භාහිර පෙනුම : මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් සහිතය. 122cm දක්වා වර්ධනය වේ. නමුත් 90cmට වඩා වැඩි සතුන් දුර්ලභය. අලුත උපන් පැටවුන් 22-34cm තරම් දිගකින් යුක්ත වේ. පෘෂ්ඨිමත් ශරීරය රළු රෙද්දක් වැනි ලිහිල් සමකින් යුක්ත වේ. ශරීරයේ නැමී ඇති ස්තානයන්ගේ සමේ රැලි ඇතිවී දක්නට ඇත. වල්ගය ක්‍රමයෙන් සිහින් වුවත් සාපේක්ෂව දෙපැත්තෙන් පැතලි ස්වභාවයක් ගනී. ශරීර පැහැය පැටවුන්ගේ දීප්තිමත්වන අතර වැඩුන සතුන්ගේ වියැකී ගිය සලකුණු සමග ලා වර්ණයක් ගනී. කළු හා සුදු පැහැති හරස්පටි පිහිටා ඇත. සුදු හරස්පටි පෘෂ්ඨීයව පටුවන අතර කළු හරස්පටි පෘෂ්ඨීයව පළල් වේ.ඇතැම් පිරිමි සතුන්ගේ තැඹිලි පැහැති වර්නයක්ද ශරීරයේ දක්නට ඇත. හිස පැහැදිළිව ගෙලින් වෙන්වී නොමැත. විශාල වක්‍රාකාර නාස්පුඩු හොඹු කෙලවරේ පෘෂ්ඨීයව පිහිටයි. හිසේ පෘෂ්ඨීයව සුදු පැහැ පුල්ලි වැනි සලකුණු කිහිපයක් ඇත.


කොරළ වින්‍යාසය: මධ්‍ය දේහයේ හරස් කොරල පේලි: 100-150ත් අතර ඇත. දේහ කොරල ඉතා කුඩා ගැටිති ආකාර වන අතර ඒවායේ කුඩා මොට නෞතල පිහිටයි. හොඹුවේ ඇති කොරළ හිසේ පෘෂ්ඨීයව ඇති කොරල වලට වඩා ප්‍රමාණයෙන් විශාලය. තුන්ඩ කොරල නොපිහිටයි. උඩුතොල් කොරල 14-22 ඇත. පැහැදිළිව දිස්වන උදරීය කොරල නොමැත. උදරයේ මධ්‍යට වන්නට වැටියක් මෙන් දාරයක් ගෙලෙහි සිට වල්ගය තෙක් දිවයයි. කොරල 8-11ත් අතර සංඛ්‍යාවක් අක්ෂි වටාත් අක්ෂි දෙක අතරත් පිහිටයි.


හඳුනාගන්නා ආකාරය : රෙදි නයින් පෙනුමෙන් සමාන වන්නේ උග්‍ර විෂ මුහුදු සර්පයන්ටය. කෙසේ නමුත් මුහුදු සර්පයන්ගේ වල්ගය හබලක් / වරලක් ආකාරයෙන් පැහැදිලිව පැතලි වී තිබීම, දේහ කොරල පේලි අවම සංක්‍යාවක් හා සාපේක්ෂව විශාල ප්‍රමනයෙනුත් යුක්ත වීම හා රෙදි නයින්ගේ ලිහිල් රෙද්දක් වැනි සමක් පිහිටීම වැනි ලක්ෂණ වලින් ඔවුන් හඳුනාගත හැක.


ව්‍යාප්තිය : ශ්‍රී ලංකාවේ කලපු හා මෝය ආශ්‍රිතව බහුලව හමුවේ. වෙරළේ සිට තරමක් මුහුද දෙසට වන්නටද වාර්තා වී ඇත. මීට අමතරව අග්නිදිග ආසියාවේ හා ඕස්ට්‍රේලියාවේ ද හමුවේ.


ස්වභාව විද්‍යාව : රෙදි නයින් ප්‍රධාන වශයෙන් නිසාචර වේ. අධෝජිහ්ව ලවණ ග්‍රන්ථි (sublingual salt glands) පිහිටා ඇති හෙයින් ලවණතා පරාසයක ඇති මුහුදු ජලයෙහි ජීවත්විය හැකි ලෙස පරිනාමය වී ඇත. ජලජ පරිසරයකට අනුවර්තනය වී ඇති මෙම සතුන්ගේ නාස් පුඩු කාටිලේජනීය තැල්ලකින් වැසිය හැක. තවද රෙදි නයින්ගේ රුධිර පරිමාවද සාමාන්‍ය සර්පයෙකුගේ මෙන් දෙගුණයක් ගනී. එහි ඇති රක්තානු ඝනත්වයද අනුරූපව ඉහළ අගයක් ගන්නා නිසා ජලය ඇතුලත වැඩි කාලයක් ගත කිරීමට හැකියාව ඇත. මෙම සර්පයන් කලපු ආශ්‍රිතව, ගංගා මෝය හා කඩොලාන පද්ධති ආශ්‍රිතව දිවි ගෙවයි. නමුත් මුහුදේ 20m පමණ ගඹුරින්ද හමු වී ඇත. බාදිය ඇතිවන කාලයේදී නොගැඹුරු මුහුදේ මඩ තැන්පත්වූ ස්ථාන වල සිටිනු දක්නට හැක. ආහාර ලෙස ප්‍රමුඛ වශයෙන් කලපු මත්ස්‍යන් මත යැපේ. නමුත් කකුළුවන් වැනි ක්‍රස්ටේසියාවන්ද ආහාරයට ගත අවස්ථා ඇත. එහිදී තම රළු ශරීරයෙන් ගොදුරු තදින් ග්‍රහණය කර ගිල දමයි. ආහාර රටාවේදී ගැහැණු සතුන් සැඟව සිට පහර දීමටත් පිරිමි සතුන් ගොදුරු හඹා ගොසින් දඩයම් කිරීමටත් වැඩි ප්‍රවණතාවක් දක්වයි. ඉතා අවම පරිවුර්ත්ථීය ක්‍රියාවලියක් ඇති මෙම සතුන් ප්‍රජනනයේදී අණ්ඩජලාබුජ තාව පෙන්වන අතර ගැහැණු සතුන් වරකට පැටවුන් 4-12 අතර දමයි. මෙම විශේෂයට ඇති ප්‍රධානතම තර්ජනය නම් කලපු ආශ්‍රිතව ධීවර කර්මාන්තයෙහි යෙදෙන පුද්ගලයන් මගින් සිදුවන මරණ හා මත්ස්‍ය දැල් වලට පැටලී සතුන් විශාල ගණනක් මරණයට පත්වීමයි. රතු දත්ත වාර්තාවේ තර්ජනයට ලක්විය හැකි (Vulnerable) විශේෂයක් සේ සලකයි


වෛද්‍ය විද්‍යාත්මක වැදගත් බව : නිර්විෂ සර්පයෙක් වේ. අලස බැවින් යුත් කලබලකාරී නොවන සර්පයෙකි. සපා කෑමට තැත් කරන්නේ නැත.


විශේෂ කරුණු : 1) සමුද්‍ර වාසී උරගයන් අතුරින් රුධිරයේ වැඩිම ඔක්සිජන් ප්‍රමාණයක් ඇති සත්වයා වීම

2) Acrochordus ගණයේ වැඩිම ව්‍යාප්තිය දක්වන හා කුඩාම විශේෂය වේ. 3) සමගණ විශේෂයක් වන Acrochordus arafurae සතුන් කෞමරෝද්භවනය මගින් වර්ගයා බෝ කර ඇති බැවින් මෙම විශේෂයටද එම හැකියාව ඇති බව ඇතැම් උරගවේදීන් උපකල්පණය කරයි.


සටහන - සංජය කණිෂ්ක




* Boulenger G. A. (1890) The fauna of British India including Ceylon and Burma, Reptilia and Batrachia. London: Taylor and Francis.
* Günther A. (1864) The reptiles of British India. London: Published for the Ray Society by Robert Hardwicke.
* de Silva A, Ukuwela K. (2017). A Naturalist's Guide To The Reptiles of Sri Lanka. Malaysia. Gulmohur Presss.
* Smith M. A. (1943) The fauna of British India, Ceylon and Burma including the whole of The Indo-Chinese Sub-region, Reptilia and Amphibia. Vol 3, Serpentes. Taylor & Francis, London.
* Wallach V., Williams K. L., Boundy J. (2014) Snakes of the World: A catalogue of living and extinct species. Taylor and Francis, CRC Press.
* Wall F. (1921). Ophidia Taprobanica or the Snakes of Ceylon. Governmental Press , Ceylon.
* Das, I. & de Silva, A. (2005) A photographic guide to snakes and other reptiles of Sri Lanka. New Holland publishers, London.
* Pyron, R.A., Kandambi, H.K.D., Hendry, C.R., Pushpamal, V., Burbrink, F.T. & Somaweera, R. (2013) Genus-level phylogeny of snakes reveals the origins of species richness in Sri Lanka. Molecular Phylogenetics and Evolution.
* Somaweera, R. (2006). Sri Lankawe Sarpayin ('The Snakes of Sri Lanka'). Wildlife Heritage Trust of Sri Lanka, Colombo.
* Wickramasinghe LJM (2012) The taxonomy and conservation status of the reptile fauna in Sri Lanka. In: Weerakoon DK & Wijesundara S (eds.) The National Red List 2012 of Sri Lanka; Conservation Status of the Fauna and Flora. Ministry of Environment, Colombo, Sri Lanka. Pp. 99–113.
* McDiarmid RW, Campbell JA, Touré T. 1999. Snake Species of the World: A Taxonomic and Geographic Reference, vol. 1. Herpetologists' League. 511 pp.
* Pyron R. A., Ganesh S. R., Sayyed A., Sharma V., Wallach V. & Somaweera R. 2016. A catalogue and systematic overview of the shield-tailed snakes (Serpentes: Uropeltidae). * Feder, M. (1980). Blood Oxygen Stores in the File Snake, Acrochordus granulatus, and in Other Marine Snakes. Physiological Zoology, 53(4), 394-401.
* Head, J., Mohabey, D., & Wilson, J. (2007). Acrochordus Hornstedt (Serpentes, Caenophidia) from the Miocene of Gujarat, Western India: Temporal Constraints on Dispersal of a Derived Snake. Journal of Vertebrate Paleontology, 27(3), 720-723.
* Lillywhite, H., Smits, A., & Feder, M. (1988). Body Fluid Volumes in the Aquatic Snake, Acrochordus granulatus. Journal of Herpetology, 22(4), 434-438.

Comments

Post a Comment