Sri Lankan Krait/මුදු කරවැලා (Bungarus ceylonicus-Günther, 1858)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Ceylon Krait දුණු කරවැලා, හත් කරවැලා Yennai Panayan

Bungarus ceylonicus GÜNTHER 1864: 344
Bungarus ceylonicus — WALL 1908
Bungarus ceylonicus — SMITH 1943: 415
Bungarus ceylonicus karavala DERANIYAGALA 1955
Bungarus ceylonicus — WELCH 1994: 37
Bungarus ceylonicus — JANZEN et al. 2007
Bungarus ceylonicus — WALLACH et al. 2014: 128



ලක්වාසී කරවැල් විශේෂ දෙක අතුරින් ආවේණික විශේෂය වන්නේ මුදු කරවැලායි. තම ඥාතී විශේෂය වන තෙල් කරවැලාට බොහෝ සෙයින් රූපවිද්‍යාත්මකව සමාන වුවත් ශරීරයේ දක්නට ලැබෙන සුදු හරස් පටි හා උදරීය ප්‍රදේශය පිරික්සීමෙන් වෙනකොට හඳුනාගත හැක. තෙත් කලාපය හා අතරමැදි කලාප වල ව්‍යාප්තවී සිටින මුදු කරවැලා උග්‍ර විෂ වෛද්‍ය විද්‍යාත්මක වැදගත් සර්පයෙක් ලෙස නම් කර ඇත. මධ්‍යම ප්‍රමාණයේ සිලින්ඩරාකාර ශරීරය සුමට කොරල වලින් වැසී ඇති අතර පැහැදිලිව ගෙලෙන් නොවෙන්වූ  කෙටි හොඹුවක් පිහිටයි. තෙල් කරවැලා මෙන්ම ශරීරය දිලිසෙන ගතියක් පෙන්නුම් කරයි.

ශරීර වර්ණය ප්‍රධාන වශයෙන් කළු පැහැයක් ගනී. මීට අමතරව ලා දුඹුරු මිශ්‍ර කළු හා නිල් මිශ්‍ර කළු වර්ණය පෙන්වන සතුන්ද සුලබව හමුවේ. මොවුන්ගේ ශරීරයේ හරස් අතට සුදු පැහැ වළලු මෙන් තීරු යුගල් 15-25 අතර සංඛ්‍යාවක් පිහිටා ඇත. මෙම සුදු හරස් පටි එකිනෙකට සම දුරින් පිහිටා ඇති අතර තෙල් කරවැලාගේ හරස් පටි වලට වඩා ඝනකමින් වැඩිය. කේශ කොරල පෙල ශරීරයේ අනෙක් පෘෂ්ඨීය කොරල වලට වඩා විශාල වන අතර ෂඩාශ්‍රාකාර හැඩයක් ගනී. මෙම හරස්පටි හා ෂඩාශ්‍රාකාර කේශ කොරල පෙල මුදු කරවැලුන් හඳුනාගැනීම සඳහා භාවිතා කල හැකි සාධක වේ. කුඩා පැටවුන්ගේ ඉහත සඳහන් සුදු හරස්පටි ඉතා දීප්තිමත්ව සම්පුර්ණව පිහිටා තිබුනත් වයසට යෑමත් සමග නැතිවී යයි. කුඩා පැටවුන්ගේ හිසේ පාර්ශවිකව, සුදු පුල්ලි යුගලක් ඇත. මෙම සුදු පැහැයද වැඩීමත් සමග ක්‍ෂය වී යයි. ඇතැම් වැඩුන සතුන්ගේ කේශ කොරල වල ක්‍ෂය වී ගිය හරස් තීරු වල සුදු පැහැය ඉතුරු වී ඇති අයුරුද දක්නට ලැබේ. උදරීයව ක්‍රීම් පැහැයක් ගන්නා අතර කළු පැහැති හරස්පටි පිහිටා ඇත. තෙල් කරවැලුන්ගේ උදරීර පැහැය සෑම විටම සුදු පැහැති වේ. මේ හේතුව නිසා උදරීර ප්‍රදේශය නිරීක්ෂණය තුලින් මෙම සර්ප විශේෂ දෙක එකිනෙකාගෙන් වෙනකොට හඳුනාගත හැක. රව්ම් කණීනිකා සහිත හිසට සාපේක්ෂව කුඩා ඇස් පිහිටා ඇත. කඳුකර ප්‍රදේශ වල ව්‍යාප්ත වී සිටින ඝහනයේ ශරීර ප්‍රමාණය පහතරට තෙත් කලාපීය හා වියළි කලාපීය ඝහනයන්ට සාපේක්ෂව කුඩා වේ.

අන් සියලු කරවැල් විශේෂ මෙන් නිසාචර භෞමික සර්පයෙක් වන මුදු කරවැලා ගොම්මන් කාලය එළඹීමත් සමග ක්‍රියාකාරී වේ. දිවා කාලයේදී පොළව ඇතුලත පිහිටි ගුල්, දිරා යන ලී කොටන් හා ගල් කුහර වැනි අඳුරු සිසිල් ස්ථාන වල කාලය ගත කරයි. මුදු කරවලුන් ප්‍රධාන වශෙයන් අනෙක් සර්පයන් අහාරයට ගන්නා අතර මීයන් ගෙම්බන් හා කුඩා උරග විශේෂද  ආහාරයට ගනී. අණ්ඩජතාව මගින් වර්ගයා බෝකරන මුදු කරවැලුන් වරකට බිත්තර 4-8 අතර සංඛ්‍යාවක් දමයි. උපතේදී පැටවෙක් 10cm තරම් දිගින් යුක්ත වී 135cm තරම් දිගකට වැඩේ. වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයෙක් ලෙස පිළිගත් මුදු කරවැලාගේ විෂ සංයුතිය ප්‍රධාන වශයෙන් ස්නායුක විෂ වලින් සෑදී ඇත,වේදනාවකින් තොර දෂ්ටනයක් කිරීමේ හැකියාව මෙම සර්පයාට ඇත්තේ තරමක් කෙටි විෂ දල යුගලක් පිහිටීම නිසාය. බොහෝ දෂ්ටන වලට ගොදුරු වන්නේ බිම නිදාසිටින මිනිසුන්ය. මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ නිදා සිටින මිනිසුන් අසල උණුසුමක් ඇති හෙයින්, සර්පයන් එම උණුසුම ලබාගැනීම සඳහා තම ශරීරය අසලට පැමිණීම නිසා මෙම දෂ්ටන සිදුවන බවයි. මෙවැනි දෂ්ටනයකදී දුර්වල ප්‍රතිශක්තීකරණයක් ඇති වැඩිමහලු මිනිසුන් හා කුඩා දරුවන් නින්දේම මරණයට පත්වීමට හැකියාවක් ඇත. කෙසේනමුත් තෙල් කරවැලාට සාපේක්ෂව මුදු කරවැලාගෙන් සිදුවන දෂ්ටන ප්‍රමාණය අවම මට්ටමක වාර්තා වේ. දැඩි ලෙස සිදුවන වන විනාශය, රාත්‍රියේ සිදුවන මාර්ග අනතුරු හා බිය හේතුවෙන් සිදුකරන ජීවිත හානි මොවුන්ට ඇති තර්ජන ලෙස දැක්විය හැක. 2012 IUCN රතු දත්ත වාර්තාවේ මෙම සර්ප විශේෂය Vulnerable (VU) කාණ්ඩය යටතේ වර්ගීකරනය කරනු ලබයි.

මුදු කරවැලා හා අනෙක් සර්ප දෂ්ටන වලින් වැළකී සිටීමට අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග දැනගැනීම සඳහා සර්ප දෂ්ටන කළමනාකරණය ලිපිය කියවන්න.

මුදු කරවැලා  සම්බන්ද විශේෂ කරුණු 

1) දකුණු ආසියාවේ සිටින කුඩාම කරවැල් විශේෂය වීම.
2) මුදු කරවැලාගේ දෂ්ට මුඛය පියවී ඇසට නොපෙනෙන තරම් කුඩා වන අතර අනෙක් විෂ සහිත සර්පයන්ගේ දෂ්ටන වලට වඩා වේදනාවෙන් අඩුය.
3) Bungarus ceylonicus ceylonicus හා Bungarus ceylonicus karavala ලෙස උප විශේෂ දෙකක් මෙරට ව්‍යාප්තවී සිටින බව පිලිගත්තද වර්ථමානයේ භාවිතා නොකරයි.
4) මුදු කරවැලාගේ දෂ්ටනය හේතුවෙන් සිදුවූ මරණයක් ගැන පළමු වෛද්‍ය වාර්තාව 1908 දී ග්‍රීන් විසින් Spolia Zeylanica සඟරාවේ පළකර ඇත.

සටහන - සංජය කණිෂ්ක




Comments