Merrem's Hump-Nosed Pit Viper/පොළොන් තෙලිස්සා(Hypnale hypnale-Merrem, 1820)

Other Names- වෙනත් නම්
English Sinhala Tamil
Hump-Nosed Pit Viper කුණකටුවා, මෙරේම් ගේ පොළොන් තෙලිස්සා

Cophias hypnale MERREM 1820: 155
Trigonocephalus hypnale — SCHLEGEL 1837
Hypnale hypnale — FITZINGER 1843
Trigonocephalus hypnale — DUMÉRIL & BIBRON 1854: 1498
Hypnale affinis ANDERSON 1871: 20
Ancistrodon hypnale — BOULENGER 1890 (part.)
Ancistrodon millardi WALL 1908: 792
Ancistrodon hypnale — SMITH 1943: 499
Hypnale hypnale — WELCH 1994: 67
Hypnale hypnale — MCDIARMID, CAMPBELL & TOURÉ 1999: 310
Hypnale hypnale — GUMPRECHT et al. 2004
Hypnale hypnale — WALLACH et al. 2014: 343



ශ්‍රී ලංකාවේ වෙසෙන තෙලිස්සන් විශේෂ හතර අතරින් වඩාත් සුලබවම හමුවන විශේෂය වන පොළොන් තෙලිස්සා කුණකටුවා ලෙසද හඳුන්වයි. දිරපත්වන කුණු රොඩු තුල සැඟව සිටීමත් සපා කෑ ස්ථානයේ පටක කුණු වීමත් නිසා කුණකටුවා යන නම මෙම සර්පයාට ලැබී ඇත. ශ්‍රී ලංකාවේ වෙසෙන ආවේනික නොවූ එකම තෙලිස්සන් විශේෂය වන්නේද පොළොන් තෙලිස්සායි. හිසේ ප්‍රමාණයට සාපේක්ෂව පෘෂ්ඨිමත් සිලින්ඩරාකාර සිරුරක් හිමි පොළොන් තෙලිස්සා විවිද වර්ණ පරාසයකින් හමුවේ. දුඹුරු , තැඹිලි , අළු වර්ණ වල ලා පැහැයන් සිට තද පැහැයන් වලට විහිදුන වර්ණ බොහොමයකින් මෙම සර්ප විශේෂය හමුවේ. බොහෝ අවස්ථාවල ප්‍රෂ්ඨීයව කේෂ කොරල හා ආශ්‍රිත අනෙක් කොරල තද වර්ණයක් ගන්නා අතර කේෂ කොරල මත කලු හෝ දුඹුරු පැහැති සිහින් රේඛාවක් ගෙලෙහි සිට නැට්ට දක්වා පිහිටයි. කලු/දුඹුරු පැහැති ත්‍රිකෝණාකාර පුල්ලි 20-35ක් පමණ සංක්‍යාවක් එම රේඛාව දෙපස එකිනෙකට මුහුණලා එකිනෙක ස්පර්ෂ වන ලෙස හෝ සිග්සැග් ආකාරයෙන් පිහිටයි.

පැහැදිලිව ගෙලෙන් වෙන්වූ හිස ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර හිසේ පුර්ව කොටස තරමක් ඉහලට ඉස්සී ඇත. තුන්ඩ කොරලය මෙලෙස ඉස්සී පැවතීම තෙලිස්සන් හඳුනාගැනීමට භාවිතා කල හැකි ප්‍රධාන සාධකයක් වේ. තෙලිස්සා යන නම සෑදෙන්නේද මෙම ලක්ෂණය නිසාය. තොල ඉස්සා/තොල විස්සා යන නම් තෙලිස්සා බවට පත් වී ඇති බව අපගේ විශ්වාසයයි. හිසේ පාර්ශවික ප්‍රදේශයේ තුන්ඩ කොරලයේ සිට ගෙල තෙක් ඇස හරහා දිවෙන සුදු පැහැති සිහින් රේඛාව හිසේ වර්ණ වෙන්කරන සීමාව බඳුය. මෙම රේඛාවෙන් පහල කොටස සෑම විටම තද කලු/ දුඹුරු හෝ හිසේ ප්‍රෂ්ඨීය වර්ණයට වඩා තද පැහැයක් ගනී. සිරස් කනීණිකාවක් සහිත මධ්‍යම ප්‍රමාණයේ ඇසක් ඇත. නැට්ට ඉතා කෙටිය.

ප්‍රධාන වශයෙන් භෞමික සර්පයෙකි.නමුත් කුඩා පඳුරු වැනි ශාක වල සිටින අවස්ථා වාර්තාවී ඇත. නිසාචර සර්පයෙක් වුවත් දහවල් කාලයේද සංචරණය දැකිය හැක. ඉතා ඉහල කඳුකරයේ හැරුණකොට මෝසම් , තෙත් සදාහරිත ඇතුළු සියලු පරිසර පද්ධති හා ගෙවතු ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇත. තේ,රබර් හා කොකෝවා වගාබිම් වල නිතර හමුවේ. දහවල් කාලයේ වැඩි වශයෙන් දිරාපත් වන කොළ රොඩු හා තරමක් තෙතමනය සහිත අඳුරු ස්ථාන තුල සැඟව කාලය ගත කරයි. වල පොළගුන් අයත් Crotalinae උප කුලයේ සර්පයෙක් බැවින්  ඇස හා නාස් පුඩුව අතර ඇති ලෝරියල් ප්‍රදේශයේ තාප සංවේදී ජිද්‍ර පිහිටා ඇත. රාත්‍රී කාලයේදී ගොදුරු සොයාගැනීමටත් පරිසරයේ සිදුවන උෂ්ණත්ව වෙනස්වීම සන්වේදනයටත් මෙම තාප සංවේදී ජිද්‍ර උදව් වේ. පොළොන් තෙලිස්සන් මෙම සංවේදන ක්‍රියාවලිය වඩා කාර්යක්‍ෂමව සිදු කිරීමට හිස අංශක 45ක් පමණ ආනතියකින් ඉහලට ඔසවාගෙන සිටින අයුරු දැකගත හැක. තම  ප්‍රධාන ආහාරය ලෙස සිකනලුන්, හීරළුවන් හා හූනන් වැනි උරගයන්ද මීයන් වැනි කුඩා ක්ෂීරපායීන්ද පඳුරු මැඩියන් හා ගෙම්බන් වැනි උභයජීවීන්ද ගොදුරු කරගනී. කුඩා පැටවුන් ගොදුරු සොයාගැනීමට තම නැට්ට ඇමක් ලෙස යෝදාගෙන (Caudal-Luring) ඉහලට ඔසවා පණුවෙක් ලෙස සොලවයි. ගොදුරක් ලෙස රැවටී නැට්ට අසලට පැමිණෙන කටුස්සන් වැනි සතුන් ක්ෂණිකව දෂ්ට කර ගොදුරු කර ගැනීම මෙම උපක්‍රමයයි. ප්‍රජනනයෙදී අණ්ඩජලාබුජතාව පෙන්වන පොළොන් තෙලිස්සා වරකට පැටවුන්  4 -18ත් අතර සංක්‍යාවක් ප්‍රසූත කරයි. උපතෙදී පැටවුන් දිගින් 14cm පමණ වන අතර සාමාන්‍යයෙන් වැඩුණු සතෙක් 30cm පමණ වේ. කලාතුරකින් 50cm ආසන්න දිගින් යුතු සත්වයන්ද හමුවී ඇත.

තමාට තර්ජනයක් දැනුන විගස පලා යාමට උත්සාහ කලත් එය ව්‍යවර්ථ වුවහොත් ශරීරය පැතලි කොට දුන්නක් සේ සකසා පහර දීමට සැරසේ. අඟල් 5ක් පමණ කෙටි දුරකට හිස දික්කර පහරදීමේ හැකියාව ඇත. මිනිසුන් තුල මේ සම්බන්දව ඇත්තේ මිත්‍යා මතයකි. එනම් කුණකටුවන්  ඈත සිට ශරීරයට පැන දෂ්ට කිරීම යන කරුණයි. මෙහි කිසිදු සත්‍යතාවක් හෝ තර්කානුකූල බවක් නැත. පොළොන් තෙලිස්සා ශ්‍රී ලංකාවේ සිදුවන විෂ ශරීරගතවීම් සහිත දෂ්ටන වැඩිම සංක්‍යාවක් සිදුකරන සර්ප විශේෂය වේ. විෂ සාන්ද්‍රණය සලකා මද විෂ සර්පයෙකු ලෙස සැලකුවද  වකුගඩු අක්‍රීය වීම් නිසා මරණ වාර්තාවී ඇති හේතුවෙන් සිදුකරන ලද පර්යේෂණ වල නිගමනයන් සහිතව 2008 වසරේදී පල වූ විද්‍යා පත්‍රයකින් පොළොන් තෙලිස්සන් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයකු ලෙස විස්තර කොට ඇත [Ariaratnam, C.A. & Thuraisingam, V & Kularatne, S.A.M. & Sheriff, M.H.R & Theakston, R.D.G. & de Silva, A & Warrell, D.A.. (2008). Frequent and potentially fatal envenoming by hump-nosed pit vipers (hypnale hypnale and H. Nepa) in Sri Lanka: Lack of effective antivenom.]. ඉහත සඳහන් විද්‍යා පත්‍රයේ පොළොන් තෙලිස්සා වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයෙක් ලෙස විස්තර කල විට, එම මොහොතේදී වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයන් ලෙස උග්‍ර විෂ සර්පයන් පමණක් සිටිය බැවින් ඇතැමුන් පොළොන් තෙලිස්සාද උග්‍ර විෂ කාණ්ඩයට ඇතුල් කර ඇති බව සිතුවේය. නමුත් සර්පයෙකු වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වීමට විෂ ප්‍රබලත්වය පමණක් බලපාන්නේ නැත.  වර්ථමානය වන විට මද විෂ සහිත වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් සර්පයෙක් ලෙස පොළොන් තෙලිස්සා සලකනු ලැබේ. විෂේ ප්‍රධාන ලෙස වකුගඩු වලට හානි කරන Nephrotoxins හා පටක වලට හානි කරන Cytotoxins යන ධූලක අඩංගු වේ. දෂ්ටනයකින් පසු ස්ථානීය රෝග ලක්ෂණ වන අධික වේදනාව, දිය පට්ටා දැමීම හා ඉදිමීම දැකගත හැක. රෝගියා හැකි ඉක්මනින් රෝහල් ගත නොකළහොත් පටක කුණු වීම හා වකුගඩු අකර්මන්‍ය වීමටද ඉඩ ඇත. දිවයින පුරා පුළුල් ව්‍යාප්තියක් දක්වන හේතුවෙන් රතු දත්ත වාර්තාවේ Least Concern (LC) කාණ්ඩයට අයත් සර්පයෙක් සේ සලකයි.

පොළොන් තෙලිස්සාගෙන් හා අනෙක් සර්ප දෂ්ටන වලින් වැළකී සිටීමට අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග දැනගැනීම සඳහා සර්ප දෂ්ටන කළමනාකරණය ලිපිය කියවන්න.


Mid Body Scale Rows/මධ්‍ය දේහයේ හරස් කොරල : 15-17
Ventral/උදරීය : 134-157
Sub-caudal/පෞච්ඡ උදරීය : 30-48 බෙදී ඇත/Divided
Anal Plate/ගුද කෝරලය : බෙදී නැත/Undivided
Supralabial/උඩුතොල් : 7-8 (කිසිවක් ඇස හා ස්පර්ෂ නොවේ)

පොළොන් තෙලිස්සා සම්බන්ද විශේෂ කරුණු

1) ශ්‍රී ලංකාවේ විෂ සහිත සර්පයන්ගෙන් සිදුවන වැඩිම දෂ්ටන ප්‍රමාණයකට හේතු වෙන සර්ප විශේෂය වීම.


සටහන - සංජය කණිෂ්ක


Comments

  1. Hi, We have a business requirement to use a hump nosed snake photo. Please reply back to us to naveen.bailur@innovagesys.in.

    ReplyDelete

Post a Comment